Monday, July 17, 2017

To prevent Dengue

 

 


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Sunday, July 16, 2017

මහරහතුන් වැඩි මග ඔස්‌සේ චිත්තානුපස්‌සනාව - 39

මහරහතුන් වැඩි මග ඔස්‌සේ චිත්තානුපස්‌සනාව - 39
බුද්ධානුස්‌සතියට පූර්වකෘත්‍යයක්‌ ලෙසින් ඔබ බුදුසමයෙන් එපිට අතීතයට යන්න

පංචඋපාදානස්‌කන්ධය සම්බන්ධයෙන් වූ විග්‍රහය ඉකුත් සතියේ ලිපියෙන් අවසන් වූ අතර මෙතැන් පටන් කොටස්‌ කිහිපයකින් යුක්‌තව පළකෙරෙනුයේ එයට අදාළව භික්‍ෂුව වෙත යොමුවූ පැනයකට ගොනු කළ පිළිතුරකි

බුද්ධානුස්‌සතිය තුළ පිංවත් ඔබ ශක්‌තිමත් වන තරමට ඔබ තුළ බිය කියන කාරණය තුනි වී යනවා. ඔබ නිරතුරුවම බියක්‌ සමඟ ජීවත් වන කෙනෙක්‌ නම්, ඊට මූලිකම හේතුව බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති විශ්වාසයේ දුර්වලභාවයයි. බුදුරජාණන් වහන්සේ වන් උතුම් සරණක්‌ ඔබ අවබෝධයෙන් සරණ කරගත් තැනදී, සොරබිය, රෝගබිය, මරණ බිය, අමනුෂ්‍ය බිය, ග්‍රහ බිය ඔබෙන් නිශේධ වී යනවා. නිවීමේ මාර්ගයේ ගමන් කරන පිංවත් ඔබට ජීවිතයේ යම් තීරණාත්මක අවස්‌ථාවන් එළඹෙනවා, බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල විශ්වාසයෙන්, පංචඋපාදනස්‌කන්ධය කෙරෙහි තෘෂ්ණාව අතහැරලා, ජීවිතය මරණයට දමන්න සිද්ධවෙන. ඒ උතුම් අතහැරීමේ තීරණයට ඔබ එන්නේ, බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇතිකොටගත් අචල විශ්වාසය නිසාමයි. එම අවස්‌ථාව බුද්ධානුස්‌සතියේ ශ්‍රේෂ්ඨම ඵලයයි. 

පිංවතුන් බුද්ධානුස්‌සතිය භාවනාවක්‌ වශයෙන් වැඩීමට පෙරාතුව, පූර්වකෘත්‍යයක්‌ හැටියට, පිංවත් ඔබ පසුකරගෙන පැමිණි අතීත භව ගමනේ, කල්ප ගණන් අති දීර්ඝ වූ අබුද්ධෝත්පාද කාලයන් නුවනින් සිහිපත් කළ යුතු වෙනවා. අබුද්ධෝත්පාද කාලයක දහම වෙන්නේ, මාර දහමයි. මාර දහමේ අර්ථය වෙන්නේ සත්ත්වයා පංච නීවරණවලට කොටුකොට තැබීමයි. ආර්ය අෂ්ඨාංගික මාර්ගය අතුරුදන්ව ගිය ලොවක, ධර්මය අධර්මය වූ ලොවක, ගස්‌ ගල් වඳින මිනිසුන්, නිර්වස්‌ත්‍රව විමුක්‌තිය සොයන මිනිසුන්, ගෝ වෘත, බලු වෘත රකිමින් විමුක්‌තිය සෙවූ මිනිසුන්, අශුචි කෑමෙන්, නිර්මාංශ වීමෙන්, ශීතල වතුරේ ගිලෙමින්, ගවයන්, එළුවන්, බැටළුවන් දහස්‌ ගණන් මරා දමමින් සත්ත්ව යාග තුළින් විමුක්‌තිය පිරිසිදුභාවය සෙවූ මිනිසුන්... මිත්‍යාදෘෂ්ටියේ අබුද්ධෝත්පාද කාලයක සැබෑම රුව මොහොතක්‌ නුවනින් දකින්න.

පිංවත් ඔබත්, මෙවැනි දීර්ඝ අබුද්ධෝත්පාද කාලවල ඉපදී, මෙම මිත්‍යදෘෂ්ඨික ක්‍රමවේදයන් නිසා කල්ප ගණන් අපායන්ට වැටී, දුක්‌විඳි හැටි නුවනින් දකින්න. පිංවත් ඔබ බුදුරජාණන් වහන්සේ පහළවීමට පෙරාතුව දඹදිව දෘෂ්ඨීන් හැටදෙකකින් පෝෂණය වූ සමාජ වාතාවරණය නුවනින් දකින්න. එම මිත්‍යදෘෂ්ඨීන්ගෙන් එක දෘෂ්ඨියක්‌ වන්නේ ඊශ්වරයා, බ්‍රහ්මයා සියල්ලේම කර්තෘය, සියල්ලේම නිර්මාතෘය, ලොව සකස්‌ කරන්නාය, උපන් සියල්ලන්ගේම පියාය, මේ උත්තමයා විසින් අපිව මවන ලදී. සිත කියා හෝ විඤ්ඤාණය කියා හෝ මනස කියා හෝ යමක්‌ තිබේ නම් ඒවා නිත්‍යය, නොපෙරෙලෙන සුළුය, ආත්මය මරණින් පසු නිත්‍යය.... මෙවන් මිත්‍යා දෘෂ්ඨීන් හැටදෙකක්‌ විසින් එදා දඹදිව ජනතාව අකුසලයට යොමු කොට තිබිණි. එදා ගෝ වෘත, බලු වෘත රකිමින් විමුක්‌තිය සෙවූ මනුෂ්‍යයෝ වර්තමානයේ හරකුන්, බල්ලන් වී තිරිසන් ලෝකය අත්විඳින අයුරු නුවනින් දකින්න. එදා සත්ත්ව යාග සඳහා සතුන්ගේ බෙලි කැපූ බමුණන් වර්තමානයේ හරක්‌, එළුවන්, කුකුලන්, බැටළුවන් වෙලා මිනිසුන් විසින් බෙලි කපාගෙන මරාගෙන කන හැටි නුවනින් දකින්න. එදා අසූචි කමින් විමුක්‌තිය සෙවූ මනුෂ්‍යයෝ වර්තමානයේ ඌරන් වෙලා අසුචි බුදින හැටි නුවනින් දකිමින් පිංවත් ඔබ බුද්ධානුස්‌සති භාවනාවට අවතීර්ණ වෙන්න.

මෙය සටහන් තබන භික්‍ෂුවට බුදුරජාණන් වහන්සේව සිහිපත්වන මොහොතේම, භික්‍ෂුවකට සිත පිහිටන්නේ දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාද මූලයේදී මඩ වගුරක දිගාවෙලා, දීපංකර බුදුරජාණන් වහන්සේට තම සිරුර පාවඩයක්‌ බවට පත්කොට පූජා කළ බෝධිසත්ත්වයන්වය. කල්ප ලක්‍ෂ කීයකට ඈත අතීතයක්‌ද..... ඒ මඩ වගුරේ දිගාවෙලා සිටිය බෝධිසත්ත්වයන්ගේ සිතේ හටගත් සිතිවිලි භික්‍ෂුවට මේ මොහොතේ මැවී පෙනෙනවා. 'මම තනිවම නිවන් අවබෝධ කරගන්නේ නැහැ. සියක්‌ කෝටියක්‌ සත්ත්වයන්ට නිවන් මාර්ගය සකස්‌ කොට දෙනවාය කියන සිතිවිල්ලේ සිට, මතු සම්මා සම්බුද්ධත්වය පිළිබඳව ඡන්දය ඇතිවූ ඒ සිතිවිල්ල මොන තරම් පරාර්ථකාමිද. කරුණාබරිතද. 

දීපංකර බුදුරජාණන් වහන්සේ අපේ බෝධිසත්ත්වයන්ට 'ඔබ අසවල් කාලයේ" ගෞතම නමින් සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවා'ය කියන නියත විවරණය ලබාදුන් මොහොතේ, අප බෝධිසත්ත්වයන් තුළ, දෙතිස්‌ මහා පුරුෂ ලක්‍ෂණයන්ගෙන් බබලන සම්මා සම්බුද්ධ ඥානයෙන් පෝෂිත ගෞතම බුදුරජාණන් වහන්සේ හැටියට සිතේ ඇතිවූ මනෝමය චිත්‍රය ඉලක්‌ක වූයේ, දුකෙන් පෙළෙන ලෝක සත්ත්වයාව දුකෙන් මුදවාලීම උදෙසාමය. මේ ඝොර, කටුක, භයානක සංසාරයේ දුකෙන් පෙළෙන සත්ත්වයාට සැනසිල්ල ඉලක්‌කකොට සාරසංඛ්‍ය කල්ප ලක්‍ෂ ගණනාවක්‌ දස පාරමී ධර්මයන් පිරීමට ඇතිකොටගත් අධිෂ්ඨානය මොනතරම් වීර්යවන්ත, මෛත්‍රීසහගත අධිෂ්ඨානයක්‌ද. මහා සාගරයේ ජලයට වඩා රුධිරය දන් දෙමින්, මහ පොලොවේ පසට වඩා ශරීරයේ මාංශ දන් දෙමින්, සක්‌විති රජ පදවි, රාජ රාජ මහාමාත්‍ය පදවි දන් දෙමින්, බිසෝවරු, දරුවන්, වස්‌තු සම්පත් දන් දෙමින් දිවි පරදුවට ශිල්පද රකිමින් අතපය කපා දමද්දීත් මෛත්‍රිය වඩමින්, කෘතගුණ, කෘතවේදීභාවය දිවි දෙවැනි කොට රකිමින්, උතුම් සම්මා සම්බුද්ධත්වය උදෙසා ගමන් කළ යුතු දීර්ඝ භව ගමනට අධිශ්ඨානශීලීව, වීර්යවන්තව සතුටු සිතින් පියමැන්න බෝධි සත්ත්වයන්ගේ කරුණාබරිත පරිත්‍යාගශීලී සිතිවිලි මොහොතක්‌ මෙනෙහි කරන්න. 

ඉදිරිපත් කිරීම
ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com

 


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Sunday, July 9, 2017

මහරහතුන් වැඩි මග ඔස්‌සේ චිත්තානුපස්‌සනාව - 38

               

මහරහතුන් වැඩි මග ඔස්‌සේ චිත්තානුපස්‌සනාව - 38
ශීලයේ පලුදු බුද්ධානුස්‌සතියෙන් පිරියම් කර සොඳුරු ආරම්භයක්‌ ගන්න

පංචඋපාදානස්‌කන්ධය සම්බන්ධයෙන් වූ විග්‍රහය ඉකුත් සතියේ ලිපියෙන් අවසන් වූ අතර මෙතැන් පටන් කොටස්‌ කිහිපයකින් යුක්‌තව පළකෙරෙනුයේ එයට අදාළව භික්‍ෂුව වෙත යොමුවූ පැනයකට ගොනු කළ පිළිතුරකි

පිංවත් ඔබ මොහොතක්‌ දෑස්‌ දෙක පියාගෙන නුවනින් මෙනෙහි කරන්න. අද දවසේ ඔබ කොපමණ වේලාවක්‌ ලෝභ, ද්වේෂ, මෝහ ධර්මයන් වඩන්නට ඇතිද කියලා. ඔබ වෙනුවෙන්, ඔබගේ පවුල වෙනුවෙන්, රැකියාව ව්‍යාපාරය වෙනුවෙන්, රට ජාතිය ආගම වෙනුවෙන්, කැමති අකමැති දේ වෙනුවෙන් ලෝභ ද්වේෂ මෝහ ධර්මයන් කොතෙක්‌ වඩන්නට ඇතිද?

දවස පුරාවට ඔබ වැඩූ කුසල්, පිං තරාදියේ එක පැත්තකටත්, අකුසල් සිත් තරාදියේ අනෙක්‌ පැත්තටත් දමා අලෝභ, අද්වේෂ, අමෝහ සිතකින් එම තරාදිය දෙස බලන්න දක්‍ෂ වෙන්න. මොකද අපි තරාදිය දෙස බලන්න පුරුදුවෙලා තියෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ සිතුවිලි පෝෂණය කරමින්මයි. 

ඉසිගල් පර්වතයේ වැඩසිටි ගෝධික ස්‌වාමීන්වහන්සේ තම අතින්ම ගෙල සිඳගෙන අපවත්වෙනවා. ගෝධික ස්‌වාමීන් වහන්සේ සියදිවි නසාගන්නේ පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය දකිමින්. රූපය කෙරෙහි කලකිරීම අවබෝධයෙන්ම ඇතිකරගෙන ඵස්‌සයේ අනිත්‍යභාවය දකිමින්. සියදිවි නසාගන්නා මොහොතේම උතුම් රහත් ඵලයට පත්වී පිරිනිවී යනවා. ගෝධික ස්‌වාමීන්වහන්සේ අපවත්වූ බව දැනගත් ලෝභ, ද්වේෂ, මෝහයන්ගෙන් ඔද්දල් වුණු වසවර්ති මාරයා ගෝධික ස්‌වාමීන්වහන්සේගේ දේහය අසල කැරකෙමින් ගෝධික හිමියන්ගේ විඤ්ඤාණය කොහේ නැවත පිහිටියා ද කියලා සොයන්න ගත්තා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මාරයාට කියනවා 'මාරය, පංචඋපාදානස්‌කන්ධය කෙරෙහි තෘෂ්ණාව අවබෝධයෙන්ම අතහැරිය ගෝධික හිමි තමා තුළින්ම නිවීගියා'ය කියලා. ලෝභ, ද්වේෂ, මෝහ මාර පාර්ශ්වික ධර්මයන් බලවත් වූ තැන පිරිනිවීගිය රහතන් වහන්සේ නිසාත් අකුසල්ම රැස්‌කර ගන්නවා.

ලෝභ, ද්වේෂ, මෝහ අකුසල් ධර්මයන්ගෙන් සත්ත්වයාට සිදුවන භයංකාර විනාශයෙන් පිංවත් ඔබව මුදවලා දෙන්නේ සම්මා දිට්‌ඨියේ උතුම් අර්ථය විසින්මයි. සම්මා දිට්‌ඨියේ අර්ථය පිංවත් ඔබ තුළින් ශක්‌තිමත්කොට ගැනීමට නම් භාවනාවක්‌ හැටියට මුලින්ම පුහුණු විය යුත්තේ බුද්ධානුස්‌සතිය, ධම්මානුස්‌සතිය, සංඝානුස්‌සතිය කියන භාවනාවන්ය. මේ උතුම් ධර්ම මාර්ගයට ඔබ අවතීර්ණ වෙන්නේ කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය තුළින්මය. ධර්ම මාර්ගයේ ශක්‌තිය උදෙසා ඔබට සිටින ශක්‌තිමත්ම කළ්‍යාණ මිත්‍රයා වන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේය. පිරිනිවී ගිය මේ උතුම් ශාස්‌තෘන් වහන්සේ කෙරෙහි විශ්වාසය ඔබ ඇතිකොට ගන්නේ උතුම් සද්ධර්ම ශ්‍රවනය තුළින්මය. මේ උතුම් සද්ධර්ම ශ්‍රවනය කිරීමට ජීවමානව උපකාරක ධර්මයන් සකස්‌ කොට දෙන්නේ උතුම් සංඝරත්නයයි. තෙරුවන් කෙරෙහි ඔබ ඇතිකොට ගන්නා විශ්වාසයයි. ධර්ම මාර්ගය වන ආර්ය අෂ්ඨාංගික මාර්ගයට ඔබව යොමුකර ගන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ මුල්ම මාර්ග අංගය වන සම්මා දිට්‌ඨියේ මූලිකම ලක්‍ෂණය වෙන්නේ තෙරුවන් කෙරෙහි ඇතිකොට ගන්නා ශ්‍රද්ධාවයි. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තුළින් පෝෂණය වෙන සම්මා දිට්‌ඨියේ ශක්‌තිමත්භාවයයි මුළු ආර්ය අෂ්ඨාංගික මාර්ගයම වැඩීම කෙරෙහි උපකාරක ධර්මයන් සකස්‌ කොට දෙන්නේ. ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි පිංවත් ඔබ තුළ සත්තිස්‌ බෝධි පාර්ශ්වික ධර්මයන්ම මෝදුකොට දෙන්නේ. 

තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් තොරව කරන භාවනාවන් තුළින් මිච්ඡා සතියක්‌, මිච්ඡා සමාධියක්‌ මිස සම්මා සතියක්‌, සම්මා සමාධියක්‌ සකස්‌වීමක්‌ සිදුවන්නේ නැහැ. ධර්ම මාර්ගයේ ආරම්භය වන සම්මා දිට්‌ඨිය පෝෂණයකොට ගැනීමට නම් පිංවත් ඔබ බුද්ධානුස්‌සතිය, ධම්මානුස්‌සතිය, සංඝානුස්‌සතිය භාවනාවක්‌ හැටියට පුහුණු වීම අත්‍යවශ්‍ය කාරණයක්‌ වෙනවා. මෙතැනදී පිංවත් ඔබ වැඩි බර දිය යුත්තේ බුද්ධානුස්‌සතියටයි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය ඔබ තුළ මෝදුවන ප්‍රමාණයට, ධර්මරත්නය කෙරෙහිත්, සංඝරත්නය කෙරෙහිත් ඔබ තුළ විශ්වාසය මෝදුවෙනවා.

බුද්ධානුස්‌සතිය වැඩීමට බලාපොරොත්තු වන පිංවතා සෑම උදෑසනකමට තෙරුවන් සරණ පිහිටලා, ශිල්පද පහ සමාදන් වී එම පංචශීලය ආරක්‍ෂාකොට ගැනීමට උත්සහ ගැනීම අත්‍යවශ්‍ය කාරණයක්‌ වෙනවා. ශීලයේ යම් දුර්වලතාවයක්‌ තිබුණත් පිංවත් ඔබ බියවිය යුතු නැහැ. බිඳෙන සිල්පද නිවැරදි කර ගැනීමට ඇති උවමනාවයි වැදගත් වෙන්නේ. යම් පිංවතෙක්‌ ශීලයෙන් දුර්වල වෙන්නේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවේ දුර්වලතාවයක්‌ නිසාමයි. එමනිසා බුද්ධානුස්‌සතිය ඔබ තුළ වැඩෙන ප්‍රමාණයට ඔබ ශීලය තුළ ශක්‌තිමත් වීමට උත්සාහ ගැනීම අනිවාර්යය සිද්ධියක්‌ වෙනවා. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඔබ තුළින් මෝදු වෙනකොට, ඔබ තුළ කර්මය කර්මඵල විශ්වාසය, ශීලයේ ආනිසංශ පිළිබඳ විශ්වාසය, ඕපපාතික සත්ත්වයන්ගේ උපත පිළිබඳ විශ්වාසයත් නිසා පිංවත් ඔබ ශීලය තුළ ශක්‌තිමත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ අයෝමය මහා කරුණා ගුණය ශීලයෙන් දුර්වල පිංවතුනට වුවද මේ උතුම් ධර්ම මාර්ගයට අවතීර්ණ වීම පිණිස හොඳින් ඉඩකඩ සලසා දෙනවා. මනුෂ්‍ය ඝාතන 999ක්‌ සිදුකළ අංගුලිමාලට, නිර්වස්‌ත්‍රව බුදුරජාණන් වහන්සේ ඉදිරියට පැමිණි පටාචාරාවට, බීමතින් පසුවූ සන්තති ඇමැතිවරයාට බුදුරජාණන් වහන්සේ දැක්‌වූ මහා කරුණාව, කාමයන්ගේ තුච්ඡභාවය ගිහි ජීවිතය පුරාවට අත්විඳි උත්පලවන්නාවට වගේම අම්බපාලියට බුදුරජාණන් වහන්සේ දැක්‌වූ මහා කරුණාව, ශීලයෙන් යම් දුර්වලතාවයක්‌ තිබෙන ගිහි පිංවතුන්ලාටත්, බුද්ධානුස්‌සතිය තුළ ශක්‌තිමත් වීමට හොඳ කමටහනක්‌ වෙනවා. 

ශීලයෙන් යම් දුර්වලතාවයක්‌ තිබුණාය කියලා පිංවත් ඔබ බුදුරජාණන් වහන්සේගේ සරණ තුළට යන්න බියවෙන්න එපා. බුදුරජාණන් වහන්සේ හොඳින්ම දන්නවා ඔබේ ශීලයේ යම් දුර්වලතාවයක්‌ තියෙන්නේ ඔබේ වරදක්‌ නිසා නොව ඔබ තුළ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවේ ඇති දුර්වලතාවයක්‌ නිසාය කියලා. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය වර්තමානයේ වුවද ඕනෑම මොහොතක සූදානම්, ශීලයේ යම් දුර්වලතාවයක්‌ තිබුණ ද ඔබට ශ්‍රද්ධාවේ අර්ථය තුළින් වැරැද්ද නිවැරදිකොට දෙන්න. එම නිසා ඔබ බුද්ධානුස්‌සති භාවනාව ඔබේ ජීවිතයේ ආරම්භක භාවනා කමටහන කර ගන්න. 

ඉදිරිපත් කිරීම 
ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Sunday, July 2, 2017

මහරහතුන් වැඩි මග ඔස්‌සේ චිත්තානුපස්‌සනාව - 37

 

මහරහතුන් වැඩි මග ඔස්‌සේ චිත්තානුපස්‌සනාව - 37

දෑස්‌ හැරගෙනම ඔබ කරන භාවනාව කුමක්‌ද?

පංචඋපාදානස්‌කන්ධය සම්බන්ධයෙන් වූ විග්‍රහය ඉකුත් සතියේ ලිපියෙන් අවසන් වූ අතර මෙතැන් පටන් කොටස්‌ කිහිපයකින් යුක්‌තව පළකෙරෙනුයේ එයට අදාළව භික්‍ෂුව වෙත යොමුවූ පැනයකට ගොනු කළ පිළිතුරකි

(
මෙතැන් පටන් ඉදිරියට පළවෙන ලිපි කිහිපය බුද්ධානුස්‌සතිය, ධම්මානුස්‌සතිය සහ සංඝානුස්‌සතිය යන අනුස්‌සති භාවනා පිළිබඳ විග්‍රහයකි)

(
බුද්ධානුස්‌සතිය - 1)

පිංවතුන් නිතරම අසන ප්‍රශ්නයක්‌ තමයි, භාවනාවක්‌ හැටියට අපි මුලින්ම කුමක්‌ද තෝරාගතයුත්තේ කියලා. භාවනාවක්‌ කියන්නේ වඩනවා කියන කාරණයයි. පිංවත් ඔබ තුළ කුමක්‌ ද වැඩෙන්නේ, එය භාවනාවක්‌ වෙනවා. ඔබ සිතන්න ඔබ මුළු දවසම ද්වේෂය වඩනවා කියලා. එවිට මුළු දවසම ඔබ 'ද්වේෂ භාවනාව' වැඩුවා වෙනවා. ඔබ සිතන්න මුළු දවසම ව්‍යාපාරය නිසා, පවුල් සම්බන්ධතාවයන් නිසා ලෝභය වඩවනවාය කියලා. එවිට ඔබ මුළු දවසම 'ලෝභ භාවනාව' වැඩුවා වෙනවා. පිංවත් ඔබ මුළු දවසම සංස්‌කාරයන්ට ඇලී ගැලී ජීවත්වෙනවා ය, කියලා සිතන්න. එවිට ඔබ මුළු දවසම 'මෝහ භාවනාව' වැඩුවා වෙනවා. දැන් පිංවත් ඔබට පුළුවන් ඔබේ ජීවිතයට සිත යොමුකරලා දිනපතා ඔබ තුළින් වැඩෙන්නේ අකුසලයට අදාළ භාවනාවක්‌ ද එසේත් නැතිනම් අලෝභ, අද්වේෂ, අමෝහයන්ට අදාළ කුසලය වැඩෙන භාවනාවක්‌ ද කියලා දැනගන්න. 

පිංවත් ඔබ දවස පුරාම මුදල් පසුපස, බලය පසුපස, සැපය පසුපස හඹාගෙන යන කෙනෙක්‌ නම්, ඔබ තුළ වැඩෙන්නේ 'ලෝභ භාවනාවයි' ඔබ බලාපොරොත්තුවෙන මුදල්, බලය, සැපය පිළිබඳ ඉලක්‌කයන් වැරදී යන විට ඔබ තුළ වැඩෙන්නේ ලෝභ සහ ද්වේෂ භාවනාවයි. ගිලිහී ගිය බලාපොරොත්තු නිසා, ඔබ ගැටෙමින් ජීවත්වන විට ඔබ තුළ වැඩෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ භාවනාවයි. භාවනාවන් තුනක්‌ම පිංවත් ඔබ තුළ එක විටම වැඩෙනවා. දැන් පිංවත් ඔබ තමා කෙරෙහි අනුකම්පාවෙන් ස්‌වයං අධ්‍යයනයකට යෙදෙන්න. ඔබේ ජීවිතය පිළිබඳව. ඔබ දිනකට කොතෙක්‌ වේලාවක්‌ ලෝභ, ද්වේෂ, මෝහ භාවනාවන් වඩනවාද? එම හේතූන් නිසාම ඔබට හොරා දිනකට ඔබ තුළින් කොතෙක්‌ අකුසල් සිදුවෙනවා ද කියලා.

එක පිංවත් මහත්මයෙක්‌ ඉන්නවා. එම මහත්මයා උදේම නිවසින් එළියට බහිනකොට තම දයාබර බිරිඳට කියනවා අද රාත්‍රියට මම නිවසට එන්නේ රුපියල් 75,000 ක්‌ හම්බකරගෙන කියලා. අනිsවාර්යයෙන්ම මෙම මහත්මයා රාත්‍රියට එම මුදල අරගෙනයි නිවසට එන්නේ. මේ හැත්තෑපන්දහසේ ඉලක්‌කය සපුරාගැනීම උදෙසා, එම පිංවත් මහත්මයා දෑස්‌ ඇරගෙන පැය දහයක්‌ එකදිගටම ලෝභ, ද්වේෂ, මෝහ භාවනාව නොවරදාම, වීර්යයෙන් යුතුව සිදුකරනවා. මෙහෙම වීර්යයෙන් 'භාවනා කරන' පිංවතුන් අපට ඇවිල්ලා කියනවා 'හාමුදුරුවනේ, අපිට භාවනාවක්‌ වැඩෙන්නේ නැහැ. සිත විසිරෙනවා' ය කියලා. බලන්න කොච්චර බොරු කියනව ද කියලා. ලෝභ, ද්වේෂ, මෝහ භාවනාවන් ඇස්‌ ඇරගෙනත් පැය දහයක්‌ එක දිගට කරන්න පුළුවන්. අලෝභ, අද්වේෂ, අමෝහ භාවනාවක්‌ දෑස්‌ පියාගෙන විනාඩි දහයක්‌ කරන්න බැහැ සිත විසිරෙනවා.

ඉහත කාරණය තුළ පිංවත් ඔබට හොඳ ප්‍රවේශයක්‌ තිබෙනවා. පංචකාමයන් උදෙසා ඔබේ ඇති කෑදරභාවය නුවණින් මතුකොටගන්න. දැන් පිංවත් ඔබට තේරෙනවා, ඔබ දවසේ පැය විසිහතර පුරාවටම භාවනාවක්‌ කරමිනුයි සිටින්නේ. එය අකුසලයට, දුකට අදාළ භාවනාවක්‌වමයි.

එක පිංවතෙක්‌ සිටිනවා, ඔහු පිංකම් කරන්න හරිම කැමතියි. වියදම් කරමින්, විචිත්‍ර පිංවක්‌ කරනවා. ඔහු පිනට හරිම ලෝභයි. මේ පිංකම් තුළ නිරතුරුවම සිත වැඩෙනවා, සුගතියේ උපතකට අදාළව සංස්‌කාර වැඩෙනවා. නමුත් මොහු තුළ ඇති පින කෙරෙහි ලෝභ ස්‌වභාවය නිසා, ද්වේෂයත් මෝහයත් කියන අකුසල් මූලයන් දෙකම ඔහු තුළ භාවනාවක්‌ හැටියට වැඩෙනවා. සැපයට අදාළව පින කියන භාවනාව වඩන මොහොතේම, ඔහු දුකට අදාළ අකුසලයට අදාළ, ද්වේෂයත් මෝහයත් යන භාවනා දෙකම වඩන කෙනෙක්‌ බවට පත්වෙනවා. ලෝභ සිතක්‌ ඉදිරියට බාධාවක්‌ පැමිණෙන මොහොතේම ඊළඟට ඔබට මුණගැසෙන්නේ ද්වේෂ සහගත සිතක්‌මය. පින කෙරෙහි ලෝභ සිත් ඇති පිංවතුන් ධර්මය ගලපාගැනීමට ඇති අදක්‍ෂභාවය නිසාම නිරතුරුවම ද්වේෂ මෝහ භාවනාවන් ජීවිතවලට එකතුකොට ගන්නා ආකාරය වර්තමනා සමාජය තුළ හොඳින් විද්‍යමාන වෙනවා. 

පසුගිය කාලයේ එක්‌තරා පිංවත් මහත්මයෙක්‌ භික්‍ෂුව දේශනා කළ එක්‌ නිවැරදි ධර්ම කාරණයක්‌ අරගෙන භික්‍ෂුවට චෝදනා කළා. දවසක්‌ මේ පිංවත් මහත්මයා මුණගැසුණු මොහොතක බොහොම කාරුණිකව විමසුවා 'ඇයි මහත්තයෝ මේ නිවැරදි ධර්ම කාරණාවකට වෙනත් අර්ථකථනයක්‌ දී භික්‍ෂුව විවේචනය කරන්නේ ?' කියලා. ඒ වෙලාවේ මේ ජීවිතයේදීම උතුම් සෝවාන් ඵලය සාක්‍ෂාත් කරගැනීමට බලාපොරොත්තුව ධර්ම මාර්ගය වඩන එම පිංවත් මහත්මයා භික්‍ෂුවට කියනවා 'ඔබ වහන්සේ දේශනා කළ ධර්ම කාරණය, සූත්‍රගත නිවැරදි ධර්ම කාරණයක්‌ය කියලා මම හොඳින් දන්නවා. එහෙම දැනගෙනත් මම ඔබවහන්සේව ප්‍රසිද්ධියේ විවේචනය කළේ , ඔබවහන්සේ ගැටෙනවා ද කියා බලන්නයි' කියලා. 'අපේ කණ්‌ඩායමක්‌ සිටිනවා. එම කණ්‌ඩායම කරන්නේ ස්‌වාමීන්වහන්සේලාව චෙක්‌ කරන එක' ය කියලා. බලන්නකෝ, සෝවාන්ඵලය අපේක්‍ෂාවෙන් කොයිතරම් මේ පිංවතුන්ලා ලෝභ ද්වේෂ මෝහ භාවනාව වඩනවා ද කියලා. මෙවැනි පිංවතුන්ලාට කිසිදු ගුරු උපදේශයකින් තොරව, දෑස්‌ විවර කරගෙනම අධි වීර්යයකින් යුතුව ලෝභ, ද්වේෂ, මෝහ භාවනාවන් වැඩීමට විසිහතර පැයේම ආශිර්වාද කරන්නේ අකුසලයට අධිපති වසවර්ති මාරයා කියන ඔවුන්ගේ ශාස්‌තෘවරයාය.

ඉදිරිපත් කිරීම 
ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com

 


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.