Friday, February 24, 2017

මොනවද මේ නාම-රූප

 

මොනවද මේ නාම-රූප

දීඝ නිකායේ තියෙන මහා නිදාන කියන සූත‍්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ හරිම ආශ්චර්යවත් ආකාරයට පටිච්ච සමුප්පාදය විග‍්‍රහ කරනවා. තෘෂ්ණාව නිසා සමාජයේ අඬදබර, කලකෝලාහල, මිනීමැරුම් ආදී ලෞකික ප‍්‍රශ්න සිදුවෙන හැටි, ඊළඟට ඒ තෘෂ්ණාව නිසාම ඔහුගේ භව ගමන හැදෙන ආකාරයත් එහි හරිම ලස්සනට විස්තර වෙනවා. ඒකේ පුදුම සහගත විග‍්‍රහයක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් දන්නේ ''සළායතන පච්චයා ඵස්සෝ" කියලනේ. නමුත් මේ දේශනාවේ ''නාමරූප පච්චයා ඵස්සෝ" කියලා විස්තර වෙනවා. අපි සාමාන්‍යයෙන් පොදුවේ අහලා තියෙන, පුරුදුවුණ දේ තමයි සළායතන හේතුවෙන් ස්පර්ශය ඇතිවෙනවා කියන එක. නමුත් මේ දේශනාවේ තියෙන්නේ නාමරූප හේතුවෙන් ස්පර්ශය ඇතිවේ කියලයි. මෙහිදී බුදුරජාණන් වහන්සේ 'නාමරූප ප‍්‍රත්‍යයෙන් ස්පර්ශය ඇතිවේ' කියන එකට හරි ගැඹුරු විග‍්‍රහයක් කරනවා. උන්වහන්සේගේ දේශනාවල මේ සම්බන්ධයෙන් ඒ විදිහේ විග‍්‍රහයක් තියෙන්නේ මේ දේශනාවේ විතරයි. හරි පුදුමයි, උන්වහන්සේ විස්තර කරන විදිහ.

 

මේක තේරුම් ගන්න නම් සූත‍්‍ර දේශනාවේ නාමරූප ගැන තියෙන විග‍්‍රහය දැනගන්න  ඕන. බුදුරජාණන් වහන්සේගේ දේශනාවල නාම කියලා විස්තර කරලා තියෙන්නේ වේදනා, සඤ්ඤා, චේතනා, ස්පර්ශය, මනසිකාරවලටයි. රූප කියන්නේ සතර මහා ධාතුත්, සතර මහා ධාතූන්ගෙන් හටගත්තු දේත්. එතකොට මේකේ තියෙන්නේ නාමරූප පච්චයා ඵස්සෝ නාමරූපයෙන් ස්පර්ශය හටගන්නවා කියලයි. මේකෙදී බුදුරජාණන් වහන්සේ නාමකායේ පටිඝ සම්ඵස්සය, රූපකායේ අධිවචන සම්ඵස්සය කියලා විශේෂ වචන දෙකක් දේශනා කරනවා.

අපි ඒක මෙහෙම තේරුම් ගනිමු. අපි එක එක දේවල් එක එක නම්වලින් අදහස් කරනවානේ. 'අලියා විශාලයි…' ඔන්න දැන් අපි විග‍්‍රහයක් කළා. ඒක නාමකායේ පටිඝ සම්ඵස්සයක්. එතකොට නාමකායේ පටිඝ සම්ඵස්සය කියන්නේ ඒ විශාලත්වය පෙන්නුම් කරන එකක්. ඒක  ඕලාරිකව පෙන්නුම් කරන එකක්. අපි 'අලියා විශාලයි' කිව්වහම ඒක පෙන්නුම් කරන එකක්. අපි කියනවා 'කූඹියා පුංචියි.ඒකත් පෙන්නුම් කරන එකක්. එතකොට නාමකායේ පටිඝ සම්ඵස්සය කියන්නේ නාමකාය පිළිබඳව ගොරෝසු විදිහකට පෙන්නුම් කරන එකක්.

ඒ වගේම ඒකේ පෙන්වා දෙනවා, නාමකායේ පටිඝ සම්ඵස්සයක් ඇතිවෙන්නේ රූපයක් තිබ්බොත් විතරයි. දැන් 'කූඹියෙක්'ය කියලා කෙනෙක් හිටියොත් තමයි අපට නමක් දාන්න පුළුවන් වෙන්නේ. කූඹියෙක් කියලා කෙනෙක් නැත්නම් අපි මොකේට නමක් දාන්නද? අලියා කියලා කෙනෙක් හිටියොත් තමයි 'අලියා විශාලයි' කියලා කියන්න පුළුවන් වෙන්නේ. අලියා කියලා කෙනෙක් නැත්නම් එහෙම කියන්නේ මොකකටද? අන්න ඒකටයි නාමකායේ පටිඝ සම්ඵස්සය කියන්නේ.

 

ඊළගට බුදුරජාණන් වහන්සේ රූපකායේ අධිවචන සම්ඵස්සය විස්තර කරනවා. දැන් අපි 'අලියා විශාලයි' කියලා කිව්වා. ඒ නාමකායේ පටිඝ සම්ඵස්සය. අලියා විශාලයි කිව්වාට පස්සේ අපි ඒ ගැන කතා කරනවා. දැන් අපට ඒක එන්නේ සඤ්ඤාවකින්නේ. එතකොට අපි දැන් සැබෑම අලියෙක් දකිනවා. සැබෑම අලියෙකුගේ රූපකාය දකිනවා. එතකොට 'ආ.. මෙන්න අලියා' කියලා අපට පෙන්වන්න පුළුවන්. ඒ රූපකායේ අධිවචන සම්ඵස්සය. ඒ රූපයට තමයි නම ආවේ. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා, අපි රූපයක් දිහා බලලා ඒ රූපයට නමක් දානවා. ඒ විදිහට නමක් දැම්මට පස්සේ අපි ඒ නම කතා කරද්දී රූපය තමයි එන්නේ. රූපය පෙන්නද්දී නම තමයි එන්නේ.

 

එතකොට ඒක තමයි ස්පර්ශය සිද්ධ වෙන්නේ. විඤ්ඤාණය ප‍්‍රත්‍ය කරගෙනනේ නාමරූප කි‍්‍රයාකාරීත්වය තියෙන්නේ. නමුත් අර විග‍්‍රහය නැත්නම් නාමකායේ පටිඝ සම්ඵස්සයත්, රූපකායේ අධිවචන සම්ඵස්සයත් කියන ක‍්‍රමය නැත්නම් අපට ව්‍යවහාරයක් නැතුව යනවා.

එතකොට මේ ව්‍යවහාරය තුළ හැමදේම සිද්ධ වෙන්න උපකාරී වුණේ යම්කිසි භෞතික දෙයක් තිබීම සහ ඒ භෞතික දේ හඳුන්වන්න ව්‍යවහාරයක් තිබීම. භෞතික දේ හඳුන්වන්න ව්‍යවහාරයක් නැත්නම් අපට ඒක ගනුදෙනු කරන්න බැහැනේ. දැන් අපි යමක් ගනුදෙනු කරන්නේ ඒකට සම්මත කරගෙන. ඒ විදිහට සම්මත කළේ නැත්නම් අපි ඒ ගැන මොකක්වත් දන්නේ නෑ. එහෙම නම් ඒ සම්මත කිරීමෙන් තමයි අපි ව්‍යවහාර කරන්නේ. එතකොට ඒක තමයි ස්පර්ශය වෙන්නේ. එතකොට අපට ස්පර්ශය වෙන්නේ මේ හිතේ හටගත්ත සඤ්ඤාවයි, භෞතික දෙයයි. එතැනදී සළායතන එන්නේ නෑ. ඒක බුදුරජාණන් වහන්සේ ගැඹුරින්ම දේශනා කළා. කෙනෙක් හොඳ සිහියෙන් බැලූවොත් එයාට තේරෙනවා, 'එහෙම නම් මේ තියෙන්නේ සම්මුති ගොඩක්. අපි ඒ ඔක්කොම දකින්නේ සම්මුති ගොඩක් එක්කයි' කියලා.

දැන් අපි ගත්තොත් මීට අවුරුදු තිහකට වගේ කලින් අපි දන්නේ නැති ලෝකයක් තමයි, මේ නවීන තාක්‍ෂණය හරහා අද අපට ලැබිලා තියෙන්නේ. ඒකත් එක්ක මේ එක එක කෑලිවලට නම් ආවා. එහෙම නැත්නම් අපි ඒ වචන පාවිච්චි කරන විදිහ දන්නේ නෑනේ. දැන් පරිගණක භාවිතයත් එක්ක, අලූත් තාක්‍ෂණයත් එක්ක අලූත් වචන ගොඩකුත් එනවා. ඒ වචන පාවිච්චි කරමින් තමයි අපි ඒ දේවල් පාවිච්චි කරන්නේ. දැන් අපි ගනිමු 'මවුස් එක.' 'මවුස්' එක ගැන දන්නේ නැති කෙනාට සාමාන්‍යයෙන් සඤ්ඤාවට එන්නේ මීයෙක්නේ. ඒකෙන් අපට හොඳට තේරෙනවා, මේක ව්‍යවහාරයේ සම්මුතියෙන් තියෙන එකක්. අපට මේ සම්මුතිය තේරුම් ගන්න බැරි නිසයි අපි අමාරුවේ වැටිලා කෙලෙස් උපදවාගෙන විඳවන්නේ. නමුත් මේ ලෝකයේ යම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන පටිච්ච සමුප්පාදය හරි විදිහට ඉගෙන ගත්තා නම්, එයා සංසිඳුණු කෙනෙක් බවට පත්වෙනවා. එයා ඇවිස්සුණු කෙනෙක් වෙන්න බෑ. මොකද, එයාට සසර ගැන යමක් තේරිලානේ. ඒ නිසා ඒ කාරණය දැනගෙන සිටීම හරි වටිනවා.

 

සෝතාපන්න අය තුළත් වෙනස්කම්

බුදුරජාණන් වහන්සේ සෝතාපන්න වුණු අය 'ඒකබීජ, කෝලංකෝල, සත්තක්කත්තුපරම' කියලා කොටස් තුනකට බෙදලා තියෙනවා. එතකොට අපට පේනවා, මනුෂ්‍යයන් හැටියට අපට යම් යම් කුසලතා තියෙනවා. කෙනෙකුට මේ කුසලතා වැඩිපුර තියෙනවා. කෙනෙකුට අඩුවෙන් තියෙනවා. අපි ගත්තොත් මැරතන් දුවද්දී ඔක්කොම එකම වේගයෙන් පටන් ගන්නවා. නමුත් එකම වේගයෙන් පටන් ගත්තාට පළවෙනි, දෙවෙනි රවුම් යද්දී එක්කෙනෙකුගේ වේගය බාල වෙලා. ඊළඟ එක්කෙනා ඊටත් වඩා බාල වෙලා. ඔය අතරේ තව කෙනෙක් වේගය වැඩිකර ගන්නවා. ඔය වගේ එක එක්කෙනාගේ ගුණාත්මකකම් වලත් වෙනස්කම් තියෙනවා. මානසික ධර්මයන්ගෙත් වෙනස්කම් තියෙනවා. යම් කෙනෙක් සෝතාපන්න වෙනවා කියන්නේ ශ‍්‍රද්ධාව, වීරිය, සිහිය, සමාධිය, ප‍්‍රඥාව ආදී මේවායේ වර්ධනය කරගැනීමේ අවස්ථානේ. ඒ තුළත් වෙනස්කම් දක්නට ලැබෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ 'ඒකබීජ, කෝලංකෝල, සත්තක්කත්තුපරම' කියලා සෝතාපන්න වූ පුද්ගලයන් තුන්දෙනෙක් ගැන සඳහන් වෙනවා. 'ඒකබීජ' කියන්නේ සෝතාපන්න වෙලා ඉන්නවා. එයා ආයේ එක වතාවක් උපදිනවා. ඉපදිලා නිවන් අවබෝධ කරනවා. එතකොට අපට පේනවා, සෝතාපන්න කෙනෙක් ඊළඟ ආත්මයේ අනිවාර්යයෙන්ම නිවන් අවබෝධ කරනවා නම් එයා තුළ හටගන්නාවූ ඉන්ද්‍රිය ධර්ම ප‍්‍රබලයි. ඒ ප‍්‍රබලත්වයෙන් තමයි එයාගේ ගමන වේගවත් වුණේ.

 

'කෝලංකෝල' කියලා තව කෙනෙක් ඉන්නවා. එයා තව ආත්මභාව දෙක තුනක් දෙව් මිනිස් සුගතියේ ඉපදිලා ධර්මය අවබෝධ කරගන්නවා. ඒ කියන්නේ එයා අරට වඩා වේගයෙන් පොඞ්ඩක් අඩුයි. නමුත් එයාගෙත් යම්කිසි වේගයක් තියෙනවා. 'සත්තක්කත්තුපරම' කියලා තව කෙනෙක් ඉන්නවා. එයා ආත්මභාව හතම යනවා. ඒ නිසා 'සෝතාපන්න වුණ කෙනෙක් මෙහෙමයි' කියලා අපට චරිත විග‍්‍රහයක් කරන්න බෑ. මොකදඒක බුදුකෙනෙක් විසින්ම කරන දෙයක්. මොකද, බුදුකෙනෙකුට විතරයි ඉන්ද්‍රියපරෝපරියත්ත ඤාණය තියෙන්නේ. මේක බුදුරජාණන් වහන්සේ ඒ ඉන්ද්‍රියපරෝපරියත්ත ඤාණයෙන් බලලා කරන විග‍්‍රහයක්. එහෙම නැතුව මේ ශ‍්‍රාවකයෙකුගේ ඤාණයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ තමයි සෝතාපන්න වෙන අය 'ඒකබීජ, කෝලංකෝල, සත්තක්කත්තුපරම' කියලා කොටස් තුනකට බෙදුවේ.  ඒ නිසා මේ ජීවිතයේ කෙනෙක් සෝතාපන්න වුණත් එයාගේ ගමනේ වේගය අපට එක එල්ලේ කියන්න බෑ. මොකද, අපට එයාගේ හිත පේන්නේ නෑනේ. ඒ වගේම කෙනෙක් සෝතාපන්න වුණා කිව්වාට අපට එ්ක දැනගන්න ක‍්‍රමයකුත් නෑනේ. කාලයක් ආශ‍්‍රය කරලා තමයි එයාගේ ශ‍්‍රද්ධාව, සීලය වුණත් හොඳට තියෙනවා කියලා තේරුම් ගන්න වෙන්නේ.

 

මොකද, සමහර විට ගොඩාක් අය සෝතාපන්න වුණා කියලා රැවටිලා ඉන්න පුළුවන්. ඒ නිසා මේ විග‍්‍රහයන් දිහා බැලූවහම අපට තේරෙනවා, අපට ස්ථිර වශයෙන්ම එහෙම කියන්න බෑ. මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා ධර්මයෙන් විග‍්‍රහ කරගන්න පුළුවන්. නමුත් අපට කාලවකවනුවක් කියන්න බෑ. සමහර විට ආත්මභාව හතක් වෙන්නත් පුළුවන්. නැත්නම් ඊළඟ ජීවිතයේ වෙන්නත් පුළුවන්. හැබැයි, බුද්ධ දේශනාවේ මෙන්න මෙහෙම තියෙනවා. බුදුරජාණන් වහන්සේ එක තැනකදී අහනවා, ''මහණෙනි, ශ‍්‍රද්ධාව කොතැනක දැක්ක යුතුද?" බුදුරජාණන් වහන්සේම විස්තර කරනවා ''මහණෙනි, ශ‍්‍රද්ධාව සෝතාපත්ති අංගවල දැක්ක යුතුයි." එතකොට අපට පේනවා, අපි කොහොම කතා කළත් ශ‍්‍රද්ධාව කියන එක පූර්ණත්වයට පත්වෙන්නේ සෝවාන් ඵලයෙන් කියලා. ඒක විග‍්‍රහ කරන්නේ ''බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසැලෙන ප‍්‍රසාදයකින් යුක්ත වෙයි. ධර්මය කෙරෙහි නොසෙල්වෙන ප‍්‍රසාදයකින් යුක්ත වෙයි. ආර්ය සංඝයා කෙරෙහි නොසෙල්වෙන ප‍්‍රසාදයකින් යුක්ත වෙයි. ආර්යකාන්ත සීලයකින් යුක්ත වෙයි.ඒ කියන්නේ එයාට නිරන්තරයෙන්ම සිහි නුවණින් යුක්තව සංවරවෙන සීලයක් තියෙනවා.

 

ඒ වගේම රතන සූත‍්‍රයේ සෝතාපන්න කෙනා ගැන තව විග‍්‍රහයක් තියෙනවා. කිඤ්චාපි සෝ කම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා  එයා අතින් කයෙන්, වචනයෙන් හෝ සිතින් යම්කිසි පවක් සිදුවුණා නම් අභබ්භෝ සෝ තස්ස පටිච්ඡාදාය එයා ඒක සාධාරණීකරණය කරගන්නේ නෑ. 'ඒක මෙහෙමයි වුණේ..' කියලා තමන්ගේ පැත්තට හරවාගෙන වහන්නේ නෑ. අභබ්භතා දිට්ඨ පදස්ස වුත්තා ඒක ධර්මය දැකගත්ත කෙනාගේ ස්වභාවය කියනවා. එතකොට යම් වරදක් වුණහම එයා ඒක හංගන්නේ නෑ. කල්‍යාණ මිත‍්‍රයෙක් ඉදිරියේ සංවර වෙනවා. මේ කියන්නේ ලෝකයටම කිය කියා යනවා කියලා නෙවෙයි. එයා සුදුසු කෙනෙක් ඉස්සරහා කතා කරලා සංවරභාවයට පත්වෙනවා. සුදුසු කෙනෙක් කියන්නේ ප‍්‍රඥාවන්ත කෙනෙක්. එහෙම නැතුව සාමාන්‍ය මෝඩ ලෝකයා ඉදිරියේ තම තමාගේ අඩුපාඩු කියාගත්තහම ඒ අය, ''ආ මට එයාගේ ජීවිතේ මෙහෙම මෙහෙම කියලා තියෙනවා" කියලා පහර දෙන්න ඒකම යොදාගන්නවා. මොකද, මේ ලෝකයේ අසත්පුරුෂයෝ වැඩියිනේ. ඒ වගේ ධර්මයේ හැසිරෙන කෙනා ප‍්‍රඥාවන්ත වෙන්න  ඕන. හැබැයි මේකට උපකාරී වෙන්නේම ශ‍්‍රද්ධාවයි.

 

ප‍්‍රඥා, සීල, සමාධි ද…? සීල, සමාධි, ප‍්‍රඥා ද…?

බුදුරජාණන් වහන්සේගේ ධර්මය දිහා බලද්දී පේනවා, සීල සමාධි ප‍්‍රඥා වැඞීම පිණිස මුල් වෙන්නේම ශ‍්‍රද්ධාවමයි. මොකද හේතුව, කෙනෙක් ශ‍්‍රද්ධාවක් නැතුව සීලයකට ගියොත් එයා සීලබ්බත පරාමාසයට යන්න ඉඩ තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්මා දිට්ඨියෙන් පටන් ගත්තේ ඒකනේ. නැත්නම් සම්මා වාචාවලින්, සීලයෙන් පටන් ගන්න තිබුණානේ. නමුත් පටන් අරන් තියෙන්නේ ප‍්‍රඥාවෙන්නේ. ප‍්‍රඥාවන්ත ශ‍්‍රාවකයා සීල, සමාධි, ප‍්‍රඥා වඩනවා. ඒක තේරුම් ගන්න  ඕන එහෙමයි. එහෙම නැතුව ඒක දිහා බලලා 'ප‍්‍රඥා, සීල, සමාධි' කියලා ගන්න බෑ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පෙලගැස්ම ගත්තහම පේන්නේ ප‍්‍රඥා, සීල, සමාධි වගේනේ. එහෙම බලලා 'හා.. හා.. මේකේ තියෙන්නේ සීල, සමාධි, ප‍්‍රඥා නෙවෙයි. ප‍්‍රඥා, සීල, සමාධි' කියලා ගන්න බෑ. ප‍්‍රඥාවන්ත කෙනා ඒ ප‍්‍රඥාව තුළ පිහිටලා තමයි සීලයත්, සමාධියත්, ප‍්‍රඥාවත් වඩන්නේ.

මොකද, කෙනෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙන්නේම සෝවාන් වීමෙන්. සෝතාපන්න වුණු ගමන් එයා ප‍්‍රඥාවන්තයි. ප‍්‍රඥාවන්ත කෙනා තුළ සීල, සමාධි, ප‍්‍රඥා වැඩෙන්නේම ඒ විදිහටයි. ඒකනේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤං ච භාවයං ප‍්‍රඥාව සහිත කෙනා, ස්වකීය ප‍්‍රඥාවෙන් යුතු කෙනා සීලයේ පිහිටා සිතත් ප‍්‍රඥාවත් වඩයි. එතැන සිත කියන්නේ සමාධිය. එතකොට සීල, සමාධි, ප‍්‍රඥා වඩන්නේ ප‍්‍රඥාවන්ත කෙනා. එකෙදී බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට දේශනා කරනවා ආතාපි නිපකෝ භික්ඛු 'ආතාපී' කියන්නේ කෙලෙස් තවන වීර්යයෙන්. 'නිපකෝ' කියන්නේ පාරිහාරීය ප‍්‍රඥාවෙන්. පාරිහාරීය කියන්නේ ස්ථානෝචිත ප‍්‍රඥාව. අවස්ථාවට උචිත විදිහට ප‍්‍රඥාව හසුරුවන්න දන්න කෙනා තමයි මේකට යොමු වෙන්නේ.

දැන් අපි ගත්තොත් මාර්ගයට යන කෙනෙකුට නොයෙක් විදිහේ අකරතැබ්බයන්, බාධක, අර්බුද හටගන්නවානේ. නොයෙක් මාර සේනා ඉන්නවානේ. එයා ඒ බාධක මැද්දෙන් අවස්ථාවෝචිත ප‍්‍රඥාවෙන් තමයි ඒකට මුහුණ දෙන්නේ. සමහර අවස්ථාවල අපි ළඟට 'ඉතාම වේගයෙන් මේක අල්ල ගන්න  ඕන' කියන අය එනවා. මම ඒ අයට කියන්නේ "ඉබ්බාගෙයිහාවාගෙයි තරගය ආවොත් හාවාගේ පැත්ත තෝරාගන්න එපා, ඉබ්බගේ පැත්ත ගන්න" කියලයි. මොකද, හාවා පැනගෙන යනවා. නමුත් කොහෙන් පනිනවාද කියලා දන්නේ නෑ. ඒ නිසා ඉබ්බා වගේ කලබල නැතුව හිමින් හිමින් යන්න.  පාරවල් වලත් ගහලා තියෙන්නේ 'හදිස්සි නම් හෙමින් යන්න' කියලා. එහෙම කියන්නේ හිමින් යන තරමට එයාගේ ගමන ආරක්‍ෂිතයි. හිමාලයේ යද්දී ඒ වංගුවල ගහලා තියෙනවා 'slow than never'. කියලා. එතකොට අපට පේනවා, අපට වැදගත් වෙන්නේ වේගවත් ගමන නෙවෙයි ප‍්‍රඥාවන්ත ගමනයි.

මතු සබැඳි….

අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ 

 


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

No comments:

Post a Comment

Don't add a word Here. I'll Kill you....