මේවා ඇත්තේ විඳින්න,
බැඳෙන්න නොව මිදෙන්නය...
අතහැරීම ගැන කතාකරන විට මහත්මයෙක් ප්‍රශ්නයක් ඇසුවා. හාමුදුරුවනේ ඔබවහන්සේ අතහැරීම ගැන කතාකරනවා. එහෙම අතහැරීම ගැන කතාකරනවා නම් ඔබ වහන්සේ ආරණ්‍යයක කුටියක වැඩසිටින්න බැහැ කැලයේ ගසක් මුලයි ඉන්න ඕනේ කියලා.
මතුපිටින් එම මහත්මයා අහන ප්‍රශ්නය දකින විට එහි සාධාරණ බවක් තිබෙනවා. නමුත් එම මහත්මයා එක අන්තයකට ගිහිල්ලයි ප්‍රශ්නය දකින්නේ. සකුළුදායි කියලා තරුණයෙක් බුදුරජාණන් වහන්සේගෙන් මෙවැනිම ප්‍රශ්නයක් අතීතයේ විමසුවා. එම ප්‍රශ්නය නම් 'භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේට ශ්‍රාවකයන්, ගිහි දායක පිංවතුන් ගොඩක් පැහැදිලයි සිටින්නේ. මේ පැහැදීම ඇතිවෙන්න හේතූන් පහක් මම දකිනවා' කියලා සකුළුදායි තරුණයා එම හේතූන් පහ බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා. එම හේතූන් පහ තමයි, බුදුරජාණන් වහන්සේ අඩු ආහාරයකින් ජීවත්වීම, පාංශුකූල තුන් සිවුරුදැරීම, දුෂ්කර සෙනසුන්වල ජීවත්වීම, පිණ්‌ඩපාතයෙන් පමණක් යෑපීම, හුදෙකලා වනසෙනසුන්වල වැඩසිටීම.
සකුළුදායි එහෙම කියන විට බුදුරජාණන් වහන්සේ ඉහත කාරණා පහ ප්‍රතික්‍ෂේප කරනවා. 'සකුළුදායි ඔබ ඔය කියන කාරණා නිසා නොවේ දෙවි බඹුන් සහිත ලෝකයා මට ගරුකරන්නේ. මම සැමදාම අඩු ආහාරයකින් යෑපෙන්නේ නැහැ. සමහරක්‌දාට මම පාත්‍රයෙන් භාගයක් පමණ දන් වළඳනවා. මම පිණ්‌ඩපාතයෙන් පමණක් නොවෙයි යෑපෙන්නේ. සමහරදාට රජ, සිටු මැදුරුවලිනුත් දානය වළඳනවා. මම පාංශුකූල සිවුර පමණක් නොවෙයි දරන්නේ. පාංශුකූල නොවන සිවුරුත් දරනවා. මම වනසෙනසුන්වල විතරක් නොවෙයි ජීවත්වෙන්නේ. නාගරිකව ජේතවනාරාමය, පූර්වාරාමය වැනි ආරණ්‍යවලත් වැඩසිටිනවා. මම හුදකලා විවේකයෙන් පමණක් නොවෙයි වැඩ සිටින්නේ. ශ්‍රාවක ශ්‍රාවිකාවන්, උපාසක උපාසිකාවන් දහස් ගණන් සමග කටයුතු කරනවා. බුදුරජාණන් වහන්සේට දෙවි බඹුන් සහිත ලෝකයා ගරුකරන්නේ බුදුරජාණන් වහන්සේගේ ශීලයට, ඥණදර්ශනයන්ට, අධිප්‍රඥාවට, සත්තිස් බෝධිපාක්‌ෂික ධර්මයන්ට. මේ කාරණා පහ නිසයි ලෝකයා බුදුරජාණන් වහන්සේට පහදින්නේ කියල බුදුරජාණ වහන්සේ සකුළුදායි තරුණයාට දේශනා කරනවා.
බුදුරජාණන් වහන්සේ තමන් තුළ ඇති ගරු කළයුතු ධර්මයන් වශයෙන් දේශනා කළේ ඉහත ධර්මයනුයි. එම නිසා අපි අපේ ජීවිත තුළින් මතුකරගත යුතු ගරු කළ යුතු ධර්මයන් නිවැරදිව තේරුම්ගන්න. අපේ උතුම් පැවිදි ජීවිත තුළින් අපි උත්සහගන්නේ 'මම එක වේලයි වළඳන්නේ, අඩුපිණ්‌ඩපාතයෙන් යෑපෙන්නේ, මම කැලයේමයි ජීවත්වෙන්නේ, හුදකලාවට පමණක් මයි ප්‍රියවෙන්නේ, පාංශුකූල චීවර පමණක්‌මයි දරන්නේ ' කියන චර්යාවන් තුළින් පමණක් සතුටුවෙන්න නම්, එම සතුට අපේ පැවිදි ජීවිතයේ උතුම්ම සතුට හැටියට දකිනවා නම් අපිත් සකුළුදායි තරුණයා කියන තැනයි සිටින්නේ. එම නිසා අන්තයන්ට නොගොස් මධ්‍යම ප්‍රතිපදාව තුළ අපේ පැවිදි ජීවිත හික්‌මවන්න අපි දක්‍ෂ වෙන්න ඕනේ. එහෙම වුණොත් පමණයි අපේ උතුම් ශාස්‌තෘන් වහන්සේ තුළ තිබු උතුම් ඥාණයන්ගේ අඩි පාරේ අපිට යන්නට පුළුවන්කම ලැබෙන්නේ. අපේ උතුම් පැවිදි ජීවිත තුළ අපි සතුටුවිය යුත්තේ 'මම එකවේලයි, මම පාංශුකූලිකයි, කැලයේ පමණක් ජීවත්වෙන්නේ.....' කියන කාරණ තුළ නොවෙයි. අපි සතුටුවිය යුත්තේ ඉහත කාරණා උපයෝගී කරගෙන සත්තිස්‌බෝධිපාක්‌ෂික ධර්මයන් අප තුළ වැඩෙනවා නම් පමණකි. ආර්ය ශීලය, ආර්ය සමාධිය අප තුළ වැඩෙනවා නම් පමණකි.
බුදුරජාණන් වහන්සේ සකුළුදායි තරුණයාට දෙන අවවාදය තුළ 'අතහැරීම කියන්නේ ආරණ්‍යය කුටිය අතහැරල ගසක් යට ජීවත්වීම' කියන අන්තය ප්‍රතික්‌ෂේප වෙනවා. අප අතහැරිය යුත්තේ ආරණ්‍යයවත්, කුටියවත් නොවේ. ඒවා කෙරෙහි ඇති තෘෂ්ණාවයි. මම පාංශුකූල චීවරය දරන්නේ කියල ඔබ පාංශුකූල චීවරය කෙරෙහි තෘෂ්ණාව ඇතිකරගතහොත් එතැනද සකස්‌වෙන්නේ දුකමයි. මම කැලයේමයි ජීවත්වෙන්නේ කියලා කැලයේ හුදකලාවට ඔබ තෘෂ්ණාව ඇතිකරගතහොත් එතැන ද සකස්‌වෙන්නේ දුකමයි. පංචඋපාදානස්‌කන්ධය නැමති මාරයා අපි ධර්ම මාර්ගයේ තබන සෑම පියවරක්‌ම විඳීම කියන අපද්‍රව්‍යයෙන් අර්ථ විරහිත බවට පත්කර දමනවා. එමනිසා මෙම උතුම් නිවන් මාර්ගයේ ගමන් කිරීමේදී වනවාසී උතුම් හුදකලා ජීවිතයත්, එක වේලක් පිණ්‌ඩපාතයෙන් යෑපීමත්, පාංශුකූල චීවරයත් අත්‍යවශ්‍යම සාධක වෙනවා. මේවා අත්‍යවශ්‍යම සාධකයන් විඳීම කියන මාරධර්මයෙන් මුදවා ගැනීමට අපි දක්‍ෂ විය යුතුයි.
ඒවා ඒවායේ ස්‌වභාවයෙන් තිබුණා
භික්‍ෂුව භික්‍ෂුවගේ ස්‌වභාවයෙන් සිටියා
භික්‍ෂුවට මතකයි සාමනේර අවධියේදී වරක් ගම්මානයට පිණ්‌ඩපාතය වැඩිය. එය දුෂ්කර ගම්මානයක්. බතුයි එළවළුයි පමණයි දානයට ලැබෙන්නේ. පැණි රසක් පලතුරක් ලැබුණේම නැහැ. එදා එක අම්මා කෙනෙක් පාත්‍රයට කේක් කැබැල්ලක් පුජාකළා. භික්‍ෂුව පාත්‍රය උරහිසේ එල්ලාගෙන කැලය මැදින් කුටියට වඩින විට එකපාරටම පාත්‍රයේ තිබෙන කේක් කැබැල්ල මතක්‌වෙලා කෙළ ගිළුණා. භික්‍ෂුව කැලයේ මැද නැවතුනා පාත්‍රය ඇරියා කේක් කැබැල්ල අරගෙන ඈතට විසිකළා. එහෙම කරල මගේ සිතටම තරවටුවක් සිදුකළා 'දැන් පුළුවන් නම් කේක් වළඳන්න' කියලා.
මාර ධර්ම සම්මා සංකප්පයන්ගෙන් සම්මා සතියෙන් පරද්දවන්න ඕනේ. අරමුණු අභිබවා සිතට යන්න දෙන්න නරකයි. කෙලෙස් සිත කියන්නේ නිවන් අරමුණට ප්‍රධානම හතුරාමයි. කේක් කැබැල්ල විසිකළාට පස්‌සේ මම මටම සිනාවෙලා කුටියට වැඩියා.
භික්‍ෂුව එක්‌තරා ආරණ්‍යයක වැඩසිටින විට එම ආරණ්‍යයට ආගන්තුක ස්‌වාමීන් වහන්සේනමක් වැඩියා. උන්වහන්සේට කැලයේ ඈත කුටියක් අවශ්‍ය යෑයි කීවා. එම නිසා ආරණ්‍යයේ ඈතම තිබෙන කුටිය උන්වහන්සේට ලැබුණා. භික්‍ෂුවත් උන්වහන්සේ සමග එම කුටියට වැඩියා කුටිය පවිත්‍ර කරලා දෙන්න. මේ ආගන්තුක ස්‌වාමීන් වහන්සේ කුටියේ තිබුණ සැතපෙන ඇඳ ගැලෙව්වා, මේසය, පුටුව කුටියෙන් ඉවත් කළා. කුටියේ තිබුණ ලන්තෑරුමත් කුටියෙන් ඉවත් කළා. දොරට දමන ඉබ්බත් කුටියෙන් ඉවත් කළා. දැන් කුටියේ තිබෙන්නේ පැදුරයි, කොට්‌ටයයි, ඉදලයි, කොස්‌සයි විතරයි. භික්‍ෂුවටත් සිද්ධ වුණා කුටියෙන් ඉවත් කළ භාණ්‌ඩ ඔසවාගෙන ආරණ්‍යයේ ගබඩා කාමරයට ගෙනැත් දමන්න.
අපි ඉදිරියේ කුටිය සම්පුර්ණයෙන්ම හිස් කරලා මොකක්‌ද මේ ස්‌වාමීන් වහන්සේ අපිට පෙන්නන්න හදන්නේ. 'මගේ අතහැරීම, මගේ ශීලය........' උන්වහන්සේගේ අතහැරීමේ තරම පෙන්වන්නයි උන්වවහන්සේ කුටිය මේ තරමට හිස්‌කළේ. බලන්න මොනතරම් දුර්වල ක්‍රියාවක් ද. තෘෂ්ණාව තිබෙන්නේ සැතපෙන ඇඳේවත්, මේසයේ, පුටුවේ, ලැන්තෑරුමේවත් නොවේ. ඒවා කෙරෙහි තමන් ඇතිකරගන්නා විඳීම තුළයි. මේ ආගන්තුක ස්‌වාමීන් වහන්සේ කුටිය මේ විදියට හිස්‌කරන විට උන්වහන්සේ තුළ මොනතරම් තෘෂ්ණාවක් බැසගෙන තිබෙනවාද කියන කාරණය භික්‍ෂුව දැක්‌කා.
සති දෙකකට පස්‌සේ උන්වහන්සේ එම කුටිය හැරගියා. විඳීම කියන මාරධර්මය අපිව ආරණ්‍යයෙන් ආරණ්‍යයට, කුටියෙන් කුටියට ප්‍රදර්ශන භාණ්‌ඩ බවට පත්කරමින් ඇවිද්දවනවා.
භික්‍ෂුවට මතකයි භික්‍ෂුවගේ පැවිදි ජීවිතයේ තීරණාත්මක කාලය ගතකරපු කුටිය. එය ගල් කුටියක්. ඉදිරිපස බිත්තිය මැටියෙන් කපරාදුකර සුදුහුණුගාල තිබුණා. දීර්ඝ කාලයක් මේ කුටියේ ස්‌වාමීන් වහන්සේනමක් වැඩ ඉඳල නැහැ. දසසිල් සමාදන් වෙච්ච වයෝවෘද්ධ උපාසක සීයා කෙනෙක් මෙම කුටියේ ටික දිනක් නැවතී භාවනා කරල තිබෙනවා. භික්‍ෂුව මේ කුටියේ මාස දෙකහමාරක් ගතකළා. සාමනේර අවධියේ භික්‍ෂුව මේ කුටියට වඩිනවිට කුටිය පාළුවට ගිහිල්ලයි තිබුණේ. කුටියේ ඇඳක් තිබුණේ නැහැ. මේසයක් තිබුණා. පුටුවක් තිබුණේ නැහැ. පැදුරක්, කොට්‌ටයක්, ලැන්තෑරුමක් තිබුණා. ප්ලාස්‌ටික් බාල්දියක් තිබුණා. එපමණයි කුටියේ තිබුණේ. භික්‍ෂුව මේසය, ලන්තෑරුම පරිහරණය කළේ නැහැ. නමුත් ඒවා කුටියෙන් ඉවත් කිරීමට ගියේ නැහැ. ඒවා ඒවායේ ස්‌වභාවයෙන් තිබුණා. භික්‍ෂුව භික්‍ෂුවගේ ස්‌වභාවයෙන් සිටියා.
මේ කුටියට වැසිකිළියක් තිබුණේ නැහැ. වැසිකිළිය හැටියට පාවිච්චි කළේ පැරණි වළක්. ළඟපාත වතුර පහසුකම් තිබුණේ නැහැ. කිලෝ මීටර් කාලක් පමණ කුටියට පහළින් කැලය තුළ ලොකු ගල් වළක් තිබුණා. සවස අව්ව බැස ගියාම ගල් ළිඳට ගිහිල්ලා, පැන් පහසුවෙලා, ප්ලාස්‌ටික් බාල්දියට වතුර එකක් අරගෙන එනවා. එම වතුර බාල්දියෙන් තමයි උදේම වැසිකිළියට යන්නෙත් මුහුණ සෝදාගන්නෙත්. දත් මැදල මුහුණ පමණක් සෝදාගෙන ගමට පිණ්‌ඩපාතය වඩිනවා. වතුර බාල්දියෙන් යෑපුනත් පිරිසිදුකම හොඳින් තිබුණා. බීමට වතුර ගන්න කුටියට උඩපැත්තෙන් කිලෝ මීටර් කාලක් පමණ එහායින් නළ ළිඳක් තිබුණා. ලීටර් පහේ සුදු කෑන් එකකට බීමට වතුර එකක් අරගෙන එනවා පිණ්‌ඩපාතයෙන් පස්‌සේ.
භික්‍ෂුව මේ කුටියේ සිටිය මාස දෙකහමාරක කාලය තුළ කිසිම ගිහි පිංවතෙක් මේ කුටියට ඇවිල්ල නැහැ. භික්‍ෂුවට මේ ජීවිතයේ කිසිම දුෂ්කරභාවයක් දැනුණේ නැහැ. ඒ දිනවල භික්‍ෂුව පිණ්‌ඩපාතය කරගෙන ඒම සඳහා කිලෝ මීටර් හයක් පමණ ගම්මානයට ඇවිද්දා. අඩු ආහාරයක් ලැබුණේ. ඒ නිසාම භික්‍ෂුව හුඟාක්‌ම කෘශවෙලා සිටියේ. නමුත් බලෙන් ශරීරයට දුක් දුන්නේ නැහැ. ශරීරයට කිසිදු ඇල්මක් තිබුණේ නැහැ. මරණය බලාපොරොත්තුවෙන් ධර්මය තුළ භික්‍ෂුව සිටියා. මරණයට අබමල් රේණුවක තරම්වත් බියක් දැනුණේ නැහැ. භික්‍ෂුවට ඒ වෙනකොට දැනිලයි තිබුණේ ජීවිතයට ආශාව තිබෙන තාක්‌කාල් ධර්මාවබෝධය ලබන්න බැහැ කියල. භික්‍ෂුව තුළ ලොකු විශ්වාසයක් තිබුණා මැරෙන මොහොතේ හෝ ධර්මය සාක්‌ෂාත් කරන බව.
දවසක් භික්‍ෂුව පිණ්‌ඩපාතය වඩිනකොට ගමට ඇතුල්වෙන තැනම එක ගෙදරක මිදුලේ ගසක් යට පැදුරක එලලා තිබුණා. එය භික්‍ෂුවට නුහුරු දර්ශනයක්. එදා පිණ්‌ඩපාතයට ඒ ගෙදර අයිතිව තිබුණේ නැහැ. එම ගෙදර නිවැසියන් වැට අද්දරට පැමිණ භික්‍ෂුවට ආරාධනා කළා. ගස යට එලා ඇති ආසනයේ වැඩසිටින්න කියලා. භික්‍ෂුව ආසනයේ වැඩ සිටියා. එම නිවසේ මෑණියන් දෙපළක් ලොකු කුරක්‌කන් කැඳ කෝප්පයක් භික්‍ෂුවට පූජා කළා. දින කිහිපයකින්ම භික්‍ෂුව වැළදූ එකම එක ගිලන්පස කෝප්පය මෙයයි. එම කුරක්‌කන් කැඳ කෝප්පය භික්‍ෂුවගේ ශරීරයට හොඳ ශක්‌තියක් ඇති කළා. ඒ අම්මා ප්‍රකාශ කළා 'හාමුදුරුවනේ, ඔබ වහන්සේ ඊයේ පිණ්‌ඩපාතය කරගෙන මෙතනින් ආරණ්‍යයට වඩිනකොට ඔබ වහන්සේ බොහෝම විඩාවෙන් වෙහෙසෙන් ගමන් කළේ. අපි හිතුවා ඔබ වහන්සේට ක්‌ලාන්තය හැදෙයි කියලා. ඒ නිසාමයි ඔබ වහන්සේට මේ කැඳ දානය පූජා කළේa' කියලා. මරණයට දමපු ජීවිතයක අවසන් හෝරා කිහිපයයි භික්‍ෂුව ඒ ගත කරමින් සිටියේ. නමුත් ලෝකයා දැනගෙන සිටියේ නැහැ. ලෝකයාට කොතැනකදිවත් දැනගන්න තිබ්බෙත් නැහැ. මාරයාගෙන් මිදෙන්න යන ගමනේදී ලෝකයාවත් මාරයා හැටියටමයි දැක්‌කේ. කොටින්ම ලෝකයා ගැන සිතුණේ නැහැ. මේ මොහොත වෙනවිට එක වේලෙන් යෑපීම, පාංශුකූල චීවර දැරීම, වනවාසී ජීවිතය කියන අර්ථයන් භික්‍ෂුව තුළින් නිෂේධ වෙලයි තිබුණේ. විළි වසා ගැනීමේ අරමුණ පමණයි චීවරය තුළින් දැක්‌කේ. නිවන් අරමුණ පමණයි චීවරය තුළින් දැක්‌කේ. නිවන් අරමුණ වැඩීමට පණ කෙන්ද රැකීම කියන අරමුණ පමණයි පිණ්‌ඩපාතයේ අර්ථය හැටියට දැක්‌කේ. වැස්‌සෙන් පින්නේන් ආරක්‍ෂාවීම කියන අර්ථය පමණයි කුටිය තුළින් දැක්‌කේ. පාංශුකූල චීවරය, එක වේලක් යෑපීම, කැලයේ ජීවත්වීම කියන අර්ථයන් උපකාරක ධර්මයන් බවට පත්කොටගෙන භික්‍ෂුව තුළ සත්තිස් බෝධිපාක්‍ෂික ධර්මයනුයි දැන් වැඩෙන්නේ. දැන් පිංවත් ඔබට හොදින් වැටහෙනවා ඇති (ඉකුත් සතියේ සටහනේ සඳහන් වූ පරිදි) ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සකුළුදායි කියන තරුණයාට දේශනා කරන ධර්මයේ සැබෑම අර්ථය අත්දැකීම් තුළින්මයි පිංවත් ඔබට මේ සටහන් තබන්නේ.
ජීවිතය යන ප්‍රශ්නාවලියට පූර්ණ පිළිතුර.....
උතුම් පැවිදි ජීවිතය ගතකරන අපි, පාංශකූල චීවරය, පිණ්‌ඩපාතයෙන් යෑපීම, කැළයේම හුදෙකලාව ජීවත්වීම, එකවේලක් යෑපීම කියන කාරනා නිවන් මාර්ගය මෝදුකොටගැනීමට, සත්තිස් බෝධිපාර්ශ්වික ධර්මයන් වැඩීමට උපකාරක ධර්මයන් බවටයි පත්කොට ගතයුත්තේ. එසේ නැතිව එම උපකාරක ධර්මයන් නිවන් මාර්ගයේ ඵලයක් හැටියට ගැනීමට නොවෙයි. මොකද භික්‍ෂුව දැකලා තිබෙනවා, සමහර පිංවත් ස්‌වාමීන්වහන්සේලා එකවේලක් පිණ්‌ඩපාතයෙන් යෑපීම නිසා තමාගේ පැවිදි දිවියේ අරමුණු ඉටුවුණාය කියලා සතුටු වෙනවා. පංශකූල චීවරය දැරීම තුළින් තමාගේ පැවිදි දිවියේ අරමුණු ඉටුවුනාය කියලා සතුටුවෙනවා. වනයේ හුදෙකලාව වැඩසිටීමෙන් තමාගේ පැවිදි දිවියේ අරමුණු ඉටුවුණාය කියලා සතුටුවෙනවා. මේ සියලුම කාරණා උතුම් නිවන් මාර්ගයට, නිවන් අවබෝධයට මග පෙන්වන උපකාරක ධර්මයන් පමණය කියන කාරණය අපි දකින්න ඕනේ.
නිවන් මාර්ගයට අවශ්‍ය කරන උපකාරක ධර්මයන් හෙවත් හේතූන් , ඵලය හැටියට ගත්තොත් පිංවත් ඔබ සකුළුදායි තරුණයා සිටිය තැනයි සිටින්නේ
භික්‍ෂුවට මේ මොහොතේ, වර්තමානයේ සිට ඒ අතීත භික්‍ෂු ජීවිතය දෙස ආවර්ජනාත්මකව බැලීමේදී භික්‍ෂුවට පෙනෙන්නේ කිසිම සැලසුම් කිරීමකින් තොර ගමනක්, ඉතාමත් හොඳ සැලැස්‌මක් ඇතිව ඇවිත් තිබෙන ස්‌වභාවයයි. මා සැලසුම් නොකළ මේ ගමන, සැලසුම් කරනු ලැබුවේ මගේ සංස්‌කාර ධර්මයන් විසින්මයි. සංස්‌කාරයන්ට පුදුමාකාර ශක්‌තියක්, හැකියාවක් තිබෙනවා, ගමනක් වැරදි හෝ නිවැරදි දිශාවට සැලසුම්කර දෙන්න. දුරුකළ යුතු දේ දුරුකරමින්, සමීපකර ගතයුතුදෙය සමීපකර ගනිමින්, දුරුකළ දෙයත්, සමීපකොටගත් දෙයත් කෙරෙහි තෘෂ්ණාව හීනකොටගෙන පැමිණි ගමනේ අතීතය දෙස ආපහු හැරී බැලීමේදී භික්‍ෂුව දකින්නේ හිස්‌වූ ජීවිතයක් මිස, කටුසටහන්වලින් යුත් මතක සටහන් ගොන්නක් නොවේ. මොකද භික්‍ෂුව ජීවිතය ජයගත්තා හෝ පරාජය වූවා නොව, තරගයෙන් ඉවත්වූවා පමණි. ජයත් පරාජයත් යන දෙකම ලෝකයට විවෘත වූ ධර්මතාවයන්ය.
වේලාව සවස 5.00ට විතර ඇති. භික්‍ෂුව වැඩසිටින කඳුකර ප්‍රදේශයට වේගයෙන් සුළඟ හමනවා. කඩින් කඩ වැසිත් ඇතිවෙනවා. පරිසරය අඳුරු කරලා තිබෙන්නේ. ලොකු වැස්‌සක පෙරනිමිති පේනවා. මේ වැස්‌සට ගම්වැසියෝ කිsයන්නේ මහියංගන පෙරහැර වැස්‌ස කියලා.
අතුරුභෝග කුඹුරුවල වගාකරලා තිබෙන, ගමේ ගොවි මහත්වරුන්ට මේ වැස්‌ස බලාපොරොත්තු ඉහළ නංවනවා. වැස්‌ස ගැන කථාකරනකොට මතකයට එන්නේ වැස්‌ස වලාහක දෙවියන්ව. වැස්‌සවලාහක දෙවියන්ට ලස්‌සන දූවරු දෙදෙනෙක් ඉන්නවා කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. ලොකු දුවගේ නම කෝකන්දා, පොඩි දුවගේ නම චුල්ල කෝකන්දා. මේ දිව්‍ය දියණියන් දෙදෙනා එයාලගෙ පිරිවර දිව්‍ය යෙහෙළියන් පිරිවරාගෙන වළාකුළු මත සෙල්ලම් කරනවා. කාමච්ජන්දයන් විඳිනවා.මේ වැස්‌සවලාහක දූවරු දෙදෙනා පිංකම්වලට ගොඩක් කැමතියි. මනුෂ්‍ය ලෝකයේ සිල්වත් ස්‌වාමීන්වහන්සේලා ධර්මදේශනා කරනකොට, මේ අය කාමච්ජන්දයන් විඳලා වැසි වස්‌සන්නේ නැහැ. නමුත් මේ අයට පාලනය කරන්න බැරි වැසි තිබෙනවා. ඒවා ඇතිවන්නේ සතර මහා ධාතුවේ කිපීම් නිසා. අකුණු ගහලා, ගොරවලා, සුළඟ හමලා ඇතිවෙන ධාරාණිපාත වාර්ෂාවන් සතර මහා ධාතුවේ කිපීම් නිසා ඇතිවන වැසි. මේවා පාලනය කරන්න වැස්‌ස වලාහක දෙවියන්ට හෝ ඔහුගේ දූවරු දෙදෙනාට බැහැ. එමනිසා ඔබ කරන පිංකම් ධර්මදේශනා අසාර්ථක කරමින් ලොකු වර්ෂාවන් වහිනකොට, ඔබ වැස්‌ස වලාහක දෙවියන්ට, එම දිව්‍ය දියණියන්ට බනින්න එපා. ඒ අය අහිංසකයි. පිංවත් ඔබලා පිංකමක් කරනකොට පුංචි පුංචි මල්වැසි වස්‌සලා එම පිංකම්වලට ආශිර්වාද කරන්නේ එම පිංවත් දිව්‍ය දියණියන්මයි.
භික්‍ෂුව මේ මොහොතේ වැඩසිටින කුටිය පිහිටි දුප්පත් ගම්මානයේ ගම්වැසියන්ට භික්‍ෂුව නිතරම කියනවා, ධර්මයට සම්බන්ධ යම් ප්‍රශ්නයක් තිබෙනවා නම් පිණ්‌ඩපාත වේලාවෙදි අහන්න කියලා. ඒ පිංවතුන් අසන්නේ දානයේ ලුණු ඇඹුල් බලන්න හොඳද නැද්ද කියලා. බුද්ධ පූජාව පූජාකළාට පස්‌සේ එය විසිකරන්න හොඳද කියලා. ඉන් එහා ප්‍රශ්නයක් එම පිංවතුන් අසන්නේ නැහැ. එම නිසාම සංසාර බියට අදාළව බණ ටිකක් ඒ අයට කියලා දෙනවා. මේ අයට සංසාරය තව කොතෙක් දීර්ඝ වෙයිද? තවත් කල්ප විනාශ කිහිපයකට මේ අය මුහුණදෙයිද? භික්‍ෂුව නැවතිලා සිටිනවා. ලෝකය ගලාගෙන යනවා. ගලාගෙන යනවා කියන්නේ සංස්‌කාර රැස්‌වෙනවා. නැවතී සිටින තැන සිට ලෝකය දෙස බලනකොට කරුණාවක්‌මයි සකස්‌වෙන්නේ. එම නිසා භික්‍ෂුව මෙලෙස සටහන් ලියනවා. බණ කියනවා. නමුත් ජීවිතය නැවතිලා. විපාකය පිණිස සකස්‌වෙන අතීත සංස්‌කාර හරි හරියට විපාක දෙනවා. කෙනෙකුට සංස්‌කාර විපාක දෙනකොට, තවකෙනෙක් හරිහරියට සංස්‌කාර රැස්‌කරගන්නවා. කෙනෙක් නැවතුනත්, තවකෙනෙක් ඔහු නිසා හරි හරියට දුවනවා. ලෝකය ඒ සුපුරුදු ආකාරයෙන් ගලාගෙන යනවා. නමුත් නැවතී සිටින භික්‍ෂුව එය දකිනවා. ජීවිතය කියන්නේ ප්‍රශ්නාවලියක්. එම ප්‍රශ්නාවලිය කථාකරලා විසඳගන්න බැහැ. උපත නිරෝධය කිරීමෙන්මයි, ප්‍රශ්නාවලිය අවසන්කොට ගතහැක්‌කේ.
Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.