Tuesday, April 21, 2015

'ඇස ඇති කල්හි' 3, 4

 

 

ඇස ඇති කල්හි' - 03 කොටස

 

මේ අල්ලාගන්න එක, රැස්කරන එක මොකක් ද කියලා හොඳට බලාගන්න. ඇහැ, කන, දිව, නාසය, ශරීරය මෙන්න මේ ටික. හටගෙන නිරුද්ධ වෙන දේ අල්ලාගත්තහම ඒවා ඇති බවක තියෙනවා. මේ විදියට ස්පර්ශ ආයතන හයට ම යම් යම් අරමුණක් ඇති වුනොත්, ඒ හැම අරමුණක් ම ඒ ඒ හේතු ගැටුන නිසා පෙර නොතිබීම අවස්ථාවටයි ඒ ඒ ස්කන්ධ උපදින්නෙ. හේතු ටික නැතිවෙනකොට ම ඒ ස්කන්ධයෝ නැතිවෙනවා. ඒක තමයි ඇත්ත. නමුත් ඒ ඇත්ත ජීවිතය නොවුනොත් එයාට ඉතුරු වෙන්නෙ හටගත්ත ධර්මය තියෙන දෙයක් විදියට - තියෙන දේ පෙනෙනවා. පෙනුන දේ තියෙනවා තියෙන දේ ඇහෙනවා. ඇහුන දේ තියෙනවා. කියලා ඇති බවක මනස පිහිටනවා. මේ ස්පර්ශ ආයතන හය ඇතිබවක මනස පිහිටියා ම තමයි මාර හෝ මාර ප‍්‍රඥප්තිය. සත්ව හෝ සත්ව ප‍්‍රඥප්තිය. ජරා මරණ දුක ඔක්කොම.

දැන් ස්පර්ශ ආයතන හය ඇති බවක පිහිටන්න හේතුව මොකක් ද? ඒ ස්පර්ශ ආයතනය උපදින වෙලාවේ දී, ස්පර්ශ ආයතනයෙ යථා ස්වභාවය නුවණට හසු නොවී අභිනන්දති, අභිවඩති, අජ්ෙඣාසාය තිට්ඨති, ඒ අරමුණේ සතුටු වෙයි නම්, සතුටු බවේ ගුණ කියයි නම් ඒ අරමුණේ බැසගෙන සිටී නම්, ඒකයි හේතුව. ඇහැට රූපයක් පෙනෙනකොට, මං හැමදාම මතක් කරලා තියෙනවා - රූපය කියන තැනින් නියෝජනය වෙනකොට එතන ඇහැත් තියෙනවා, චක්ඛු විඤ්ඤාණයත් තියෙනවා, චක්ඛු සම්ඵස්සයත් තියෙනවා, චක්ඛු සම්ඵස්සයෙන් උපන්න සියළු ම ධර්මතා ටික නියෝජනය වෙලයි රූපය පෙනෙන්නෙ. යම් තැනක රූපය තිබුනොත් එකල්හි ඇහැත්, චක්ඛු විඤ්ඤාණයත් තියෙනවා යන ගණයට යනවා. පෙනෙන අරමුණ නැතිවුනොත් ඇහැත්, රූපයත්, චක්ඛු විඤ්ඤාණයත්, චක්ඛු සම්ඵස්සයත් නැහැයි යන ගණයට යනවා.

පෙනෙන අරමුණේ සතුටු වුනොත්, සතුටු බවේ ගුණ කිවුවොත්, පෙනෙන අරමුණට බැසගෙන සිටියොත් එයා ඇහැටත් සතුටු වෙලා ඇහෙත් ගුණ කියලා ඇහැටත් බැසගෙන ඉන්නවා. එයා චක්ඛු විඤ්ඤාණයේ සතුටු වෙලා, චක්ඛු විඤ්ඤාණයෙ ගුණ කියලා, චක්ඛු විඤ්ඤාණයෙ බැසගෙන ඉන්නවා යන ගණයට යනවා. දැකපු දේ දැකීමෙන් පස්සෙ නිරුද්ධයි කියන එක වෙනුවට ඇතිබව එළඹ සිටින්න හේතුව තමයි, පෙනෙන අවස්ථාවේ දී ඒ රූපය ඇත්ත කරගෙන, රූපය ඇත්ත වෙලා ඒකෙදි සතුටු වෙනවා නම් ඇලීමක් හෝ ගැටීමක් ඇතිවෙනවා නම් නැත්නම් ඇත්ත හෝ නොදකිනවා නම් - එක පරියායකින් ගත්තොත් රාග, ද්වේශ, මෝහ - තව පැත්තකින් ගත්තොත් අජ්ෙඣාසාය තිට්ඨති, අනෙක් අවශේෂ කෙලේස පැත්තකින් තැබේවා අජ්ෙඣාසාය තිට්ඨති කියන්නෙ බැසගෙන පවතී නම්, පෙනෙන රූපයට නැඹුරු වෙලා මෙහෙම ඉදිරියෙන් රූපයක් තියෙන්නෙ කියලා බැලූවා නම් ඇති. ඒක පිළිගත්තා නම් ඇති. හිතෙන් හොඳට මේ වර්ණ සටහන අල්ලාගෙන හිටියා නම් ඒ ඇති. වෙන මුකුත් කරන්න ඕන නෑ. රූපය පරිහරණය කළා නම් ඇති. රූපය පරිහරණය කරනවා කියන්නෙ බලනවා කියන එක. ඇත්ත නොදන්නාකම නිසයි රූපය ඇත්ත වෙන්නෙ. රූපය ඇත්ත වුන නිසයි එහෙම පරිහරණය කරන්නෙ. එහෙම කළොත් ඒකෙ තියෙන ලක්ෂණය තමයි හටගෙන නිරුද්ධ වෙනවා වෙනුවට උපන්න දේ ඇතිබවක පවත්වනවා මනස. ඔන්න එතකොට එයාට ඇහැ, රූප,චක්ඛු විඤ්ඤාණ තියෙනවා. තියෙන්න හේතුව අරමුණු ඉපදුන වෙලාවෙදි ඇත්ත නොදැක, ඒ අරමුණු මුලා සහිතව පරිහරණය කිරීම. නැත්නම් ඇලීමෙන්, ගැටීමෙන් පරිහරණය කිරීම, නැත්නම් ඒ අරමුණු ඇත්ත වෙලා අරමුණට නැඹුරු වුන මනසක් පැවැත්වීම. ඔන්න ඕක තමයි හතර ඉරියවුවේ ම පවතින ඇහැක් හැදෙන්න හේතුව. 

ඊට පස්සෙ හටගෙන නිරුද්ධ වෙන ශබ්දය, හටගෙන නිරුද්ධ වෙනවා වෙනුවට, ඇති බවක එළඹ සිටින්නෙ ඉගෙන, හිටගෙන, නිදාගෙන, ඇවිදින හතර ඉරියවුවෙම පරිහරණය කරන කනක් තියෙනවා යන ගණයට යන්නෙ, ශබ්දය අහන වෙලාවේ දී ඒ ශබ්දයෙ ඇත්ත නොදැන ඒ ශබ්දය අභිනන්දති, අභිවඩති, අජ්ෙඣාසාය තිට්ඨති. ඒ ශබ්දයෙ සතුටු වෙනවා නම්, ඒකෙ ගුණ කියයි නම්, ඒකට බැසගෙන හෝ පවතී නම්, ඒක ඇත්ත වේ නම්, එයාට බැනුමක් ම වෙනවා. ගුණ වචනයක් ම වෙනවා. ඇත්ත වුනාම ඒ වචනෙ ඇත්තමයි එතකොට දුක එන්න එයාට බැනපු දෙයක් හෝ සැප එන්න සතුටුවෙන වචනයක් හෝ වෙනවා, ඒ වචනෙ. ඒ වචන ඇත්ත වෙච්ච මනසකට තමයි හැමවෙලේ ම ඇලීම්, ගැටීම් දෙක එන්නෙ. රූපය ඇත්ත වෙච්ච මනසකට තමයි හැම වෙලේ ම ඇලීම් ගැටීම් දෙක එන්නෙ. ඒ රූපයෙ, ශබ්දයෙ යථා භූත ස්වභාවය නොදැකීමයි ඒක ඇත්ත වෙන්න හේතුව. ඇත්ත වෙච්ච නිසයි ඇලීම්, ගැටීම් දෙක එන්නෙ.

මෙන්න මෙබදු මනසක් පැවැත්වීමයි ශබ්දය, සෝත විඤ්ඤාණය, කන කියන ටික ඉතුරු වෙන්න හේතුව. නාසය, දිව, කය කියන ටික දකින්න හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්ත ඒ ධර්මතා ටික ඇති බවට අපිට එළඹ සිටින්නෙ නාසයට හෝ දිවට හෝ කයට හෝ යම් ස්පර්ශයක් ස්පර්ශ වෙනකොට ඒ ස්පර්ශය අපිට ඇත්ත වෙන නිසයි. ඇත්ත නොදකින නිසා ස්පර්ශ ආයතනය ඇත්ත වෙනවා. ඇත්ත වෙනකොට ඒ රසයේ ඇලෙනවා. ගැටෙනවා. තිත්ත නම් තිත්තම වෙනවා. ඇඹුල් නම් ඇඹුල් ම වෙනවා. පැණිරස නම් පැණිරස ම වෙනවා. තිත්ත රසට ඇඹුල් රසට ගැටෙනවා. පැණි රසට සතුටු වෙනවා කියලා ඔය කාරණා ටික වෙන්නෙ රසය කියන එක ඇත්ත වෙලා. දුර්ගන්ධයෙ ගැටෙනවා, සුගන්ධයෙ ඇලෙනවා කියන එක වෙන්නෙ ගන්ධය ඇත්ත වෙලා. නොදන්නාකම නිසයි ගන්ධය ඇත්ත වුනේ. ගන්ධය හිතින් පිළිගත්තා. 

මුල් අවධියෙ දී කරන්නේ ඒ ස්පර්ශ ආයතනයෙ ඇත්ත නොදකිනවා. දෙවන අදියරේදී ඒක ඇත්ත කරනවා. තුන්වන අදියරේ දී ඒකෙ ඇලෙනවා හෝ ගැටෙනවා. අවස්ථාවෙන් අවස්ථාවට වෙලා තියෙන්නෙ, මෙන්න මේ ස්පර්ශ ආයතන පහේ ඔය විදියට යථාභූත ස්වභාවය නොදන්නාකම නිසා ඒ ස්පර්ශ ආයතනය ඇත්ත වෙලා ඒකෙ ඇලෙමින් ගැටෙමින් පවතින මනසක් තිබුන, පවත්වපු එකේ ලක්ෂණය තමයි නිරුද්ධ වෙන බව වෙනුවට සමුදය - ඇති බව ලබා දීලා තියෙනවා.

එතකොට මේ ඔක්කොම කෙලෙස් ටිකක කෘත්‍යයක් හැටියට දකින්න, ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්නුවෙ මේ පංච උපාදානස්කන්ධයේ පැවැත්මට තණ්හාව හේතුයි කියලා. මේ ඉඳගෙන, හිටගෙන, නිදාගෙන, ඇවිදින හතර ඉරියවුවෙ පවතින කයක් හදාගෙන, හොඳට ගුටිකන්න පුළුවන් මට්ටමක් හදාගෙන තියෙන්නෙ කෙලෙසුන්ගෙන්. හො`දට මතක තියාගන්න. මේ කෙලෙස් නිසා ඇතිවෙන දුක. මේ භවය නිසා ඇතිවෙන දුක. මේ ආශ‍්‍රව නිසා විදින දුකක් මේ තියෙන්නෙ. සත්ව පුද්ගල භාවයෙන් විදින දුක.

 

 

ඇස ඇති කල්හි' - 04 කොටස

 

 

අපිට පුද්ගලයෙක් කියලා කියන්න පුළුවන් මේ ඔක්කොම ටික තියෙන්නෙ අපි ළඟ තියෙන අවිද්‍යා ආශ‍්‍රව නිසයි. අවිද්‍යා ආශ‍්‍රව කියන කෙලෙස් නිසයි මේ ස්පර්ශ ආයතන පහම ඇති බවකින් අල්ලලා දෙන්නෙ.

මනසත් ධම්මාරම්මණත් මනෝ විඤ්ඤාණයත් කියන තුන්දෙනාගෙ ස්වභාවය අවස්ථාවට හටගන්නවා. දැන් අපි ගෙදර කියලා සිතුවිල්ලක් හිතුවොත්, මනසත්, ධම්මාරම්මණත්, මනෝ විඤ්ඤාණයත් කියන තුන්දෙනාගෙ එකතුව - මනෝ සම්ඵස්සය මනෝ සම්ඵස්සය කියන්නෙ ගෙදර කියන සංඥාව උපදිනවා. ස්පර්ශය නිරුද්ධ වෙනකොට ම නිරුද්ධ වෙනවා. ඇත්ත ඒක වුනාට ගෙදර කියන හැඟීම උපදිනකොට ම ස්පර්ශය නිසා හටගත්ත ධර්ම ස්පර්ශ නිරෝධයෙන් නැතිවෙනවා කියලා ඇත්ත නොදකිනකම නිසා ඒ අරමුණ හිතෙන් පිළිගන්නවා. පිළිගත්තහම දෙවෙනි අදියරේ දී ගේ ඇත්ත වෙනවා. ඒ කියන්නෙ ගේ කියලා සිහිවෙච්ච එක ඇත්ත වෙනවා අපිට. ඇත්ත වෙලා දැන් ගේ ගැන කල්පනා කරන්නෙ නැද්ද අපි.

කොහේවත් තිබුන එකක් නෙමෙයි. මනසින්ම, ගේ කියන සංඥාව උපද්දලා. ඒකෙ ඇත්ත තමයි ස්පර්ශය නැතිවෙනකොටම, ගේ කියන සංඥාව නිරුද්ධ වෙනවා ඒ සිහි කරපු එක. නමුත් අපිට එහෙම නිරුද්ධ වෙන්නෙ නෑ. සිහිකෙරුවොත් සිහි කරපු එක දෙවනුවත් හිතට අහුවෙනවා. හිතින් අල්ලගෙන ඊට පස්සෙ දැන් ගෙදර කවුද දන්නෙ නෑ ඉන්නෙ. ළමයිනුත් නෑ. අද දොරවල් වහලා ආවෙ. හොරු කැඩුවද දන්නෙ නෑ. බණ අහන එක පැත්තක තියලා ගෙදර යන්න හිතෙන්නත් පුළුවන්.

ඒක ඇත්තවෙලා ඔන්න හිත් රාශියක් ගියා ම ඔන්න ගේ කියන අදහස උපද්දපු ස්කන්ධයෝ නිරුද්ධ වුනාට, කෙලේසයකින් බලන්න ගෙයක් තුල මනෝමයෙන් ගොඩාක් දුර ගිහිල්ලා ඉන්නවා නේද කියලා. ඒක උපද්දපු ස්කන්ධ ටික නිරුද්ධ වෙලා. දැන් මේ ගේ තියෙනවා කියලා අපිට ඇට දැනෙන්නෙ හටගත්ත ස්කන්ධ ටිකේ ඇත්ත නොදැන ඒ නිසා ම තව සිතක් උපද්දලා. තව සිතක් උපද්දලා. කෙලෙසුන්ගෙන් මෙහෙම සිත් උපද්දලා උපද්දලා දැන් ගෙයක් තියෙනවා කියලා කියන්නෙ මනස තියෙනවා. ධමාරම්මණ තියෙනවා මනෝ විඤ්ඤාණය තියෙනවා යන ගණයට ගිහිල්ලා අපිට.

මනසින් සිහි කරන ගේ තියෙනවා කියන්නෙ ඒ අධිකරණයේ දී මනස තියෙනවා ධර්මයෝ තියෙනවා මනෝ විඤ්ඤාණය තියෙනවා කියන එක. මෙතෙන් දි මනස ඇති කල්හි ධමාරම්මණ ඇති කල්හි මනෝ විඤ්ඤාණය ඇති කල්හි මාර හෝ මාර ප‍්‍රඥප්තිය කියන එකෙන් කියන්නෙ සිතක් නැතුව අචේතනික ව මැරෙන්න කියන එක නෙමෙයි.

උපදින යම් චිත්ත චෛතසික ටිකක් නිසා යම් මනෝ සම්ඵස්සයක් උපදී නම් උපදින මනෝ සම්ඵස්සයාගේ නිරෝධයෙන් ඒ ධමය නිරුද්ධයිනෙ කියලා දැනගන්න පුළුවන් නම්, දකින්න පුළුවන් නම් ප‍්‍රශ්නෙ ඉවරයි. එහෙම නැතුව ඒක ඇති බවට ගන්න එකයි දෝෂෙ.

දැන් දරුවා කියලා හිතුනොත්, මනෝ සම්ඵස්සය නිසා දරුවා කියන අදහස උපදී. ඒ ස්පර්ශය නැතිවෙනකොට ම දරුවා කියන අදහසත් නැතිවෙයි. නමුත් තමන්ගෙ සන්තානයෙ නැතිවෙයි ද කියලා බලන්න. ඒ ස්කන්ධ ටික නිරුද්ධ වුනාට ඒ ධර්ම ඇත්ත කරගෙන. ඇති බවට අරගෙන, දරුවා පන්ති ගියා ද දන්නෙ නෑ. ආවද දන්නෙ නෑ. කරදරයක් ද දන්නෙ නෑ කියලා යන්නෙ නැද්ද හිතින්.

මනස, ධම්මාරම්මණ, මනෝ විඤ්ඤාණය මුල් කරගෙන උපන්න ධර්ම එයාට තියෙනවා කියන්නෙ, මනස, ධම්මාරම්මණ, මනෝ විඤ්ඤාණය තියෙනවා කියන එක.

ඒ විදියට ම දකින්න මේ ස්පර්ශ ආයතන හයේ ම, මෙහෙමයි අපිට ලෝකය උරුම වෙලා තියෙන්නෙ. මේ කයක් උරුම වෙලා තියෙන්නෙ ඔය විදියට, ස්පර්ශ ආයතන හයෙන්. එහෙම තියෙන්නෙ ඒ මනසින් සිහි කරගත්ත ගෙදර හරි දරුවා හරි කියන දේ ඇති කල්හි ඒවා අපට තියෙනවානම් මනසත් ධර්මාරම්මණත්, මනෝ විඤ්ඤාණයත්, තියෙනවා. ඒවා තියෙනවා කියලා කියන්නෙ මාර හෝ මාර ප‍්‍රඥප්තිය තියෙනවා. සත්ව හෝ සත්ව ප‍්‍රඥප්තිය තියෙනවා. ඒ ටික තියෙනවා කියන්නෙ ජරා මරණ දුක තියෙනවා.

ජරා මරණ දුක තියෙනවා කියන්නෙ සත්ව ප‍්‍රඥප්තිය, මාර ප‍්‍රඥප්තිය තියෙනවා කියන එක. ඒ ටික තියෙනවා කියන්නෙ මනස හෝ ධමාරම්මණ හෝ මනෝ විඤ්ඤාණය තියෙනවා කියන එක. ඒ මනස හෝ ධමාරම්මණ හෝ මනෝ විඤ්ඤාණය හෝ තියෙනවා යන ගණයට ගියේ ඒ ධර්මතාවය උපදිද්දි එතන ඇත්ත නොදැක ඒ ධර්මතාවය ඇත්ත වෙලා ගෙදර නම් ගෙදර ම වෙලා, දරුවා දරුව ම වෙලා අපිට. ඒක විතර්කයක් කියලා, ස්පර්ශය නිසා හටගත්ත එකක් කියලා ඒකෙ ඇත්ත දැකලා නෑ.

ඇත්ත නොදැකීම නිසා ඒ අරමුණ ඇත්ත වෙලා ඇත්ත වෙච්ච අරමුණෙත් අජ්ෙඣාසාය තිට්ඨති බැසගෙනත් ඉන්නවා. ඇලීම හෝ ගැටීම. දරුවා ආවද දන්නෙ නෑ කියලා දුක්වෙනවා. දරුවා විභාගෙන් පාස්වෙලා කියලා සතුටු වෙනවා. ඔය විදියට ඇලෙනවා ගැටෙනවා කියන කාරණාව පවතින නිසා තමයි ඒ ස්කන්ධ ඉතුරු වෙන්නෙ.

මේක පෙළක් වගේ අනුක‍්‍රමයෙන් ගන්න. ස්පර්ශ ආයතන හය ම උපදින වෙලාවෙ දි, ස්පර්ශ ආයතන හයේ යථාභූත ස්වභාවය නොදකිනකම උපකාරයි ඒ කියන්නෙ මුලාව උපකාරයි ස්පර්ශ ආයතන හය ඇත්ත වෙන්න. කෙනෙක්ම, පුද්ගලයෙක්ම වෙන්න. ස්පර්ශ ආයතන හය ඇත්ත වුනහමයි ඇලෙන්නෙ හෝ ගැටෙන්නෙ. නැත්නම් ඒක ඇත්ත කරගෙන අල්ලගෙන ඉන්නෙ.

ඒ විදියට ඉන්න නිසයි ඒ ස්පර්ශ ආයතනය ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙනවා කියන එක නොපෙනී ඇති බවක් පෙනෙන්නෙ. මෙන්න මේ මානසික මට්ටම කෙලෙසුන් නිසා මේ ඇති බවක පෙන්නන මෙන්න මේ ටිකටයි.

''
සමිද්ධි, යම් තැනක ඇහැ ඇද්ද, රූපය ඇද්ද, චක්ඛු විඤ්ඤාණය ඇද්ද,'' කියන වචනයක් පෙන්නුවෙ. හොට ඒ ටික මතක තියා ගන්න.

එහෙම නැතුව මේ ජීවිතේ මුල් කරගෙන පවතින චක්ඛු ඉන්ද්‍රියෙන් වැඩක් ගන්නවට හෝ ඒ වැඩ කරන අවස්ථාවට කිවුවා නෙවෙයි. ඇති බව අනිකක්. ඒක නැතිවෙන බව ක්ෂය වෙන බව නුවණින් දැකලා පරිහරණය කරන එක අනිකක්. රැස් කරන එකේ දෝෂෙ මිසක පරිහරණය කරන එකේ නෙමෙයි දෝෂෙ තියෙන්නෙ. ඇහෙන් රූපයක් බලපු එකේ නෙමෙයි දෝෂෙ තියෙන්නෙ. බලපු ඇහැ, බලපු රූපය තබාගන්න එකෙයි දෝෂෙ තියෙන්නෙ. ඒ කියන්නෙ අපි හිතාගෙන හිටියට දුප්පත් කියලා අපි කවුරුවත් දුප්පත් නෑ. අපි බොහොම පොහොසත් මේ අඩු නැතුව ස්පර්ශ ආයතන හය ම තියෙනවා. මොන දෙයක් අතහැරියත් - අපි අතහැරීම ගැන කතා කළොත් හොදට මතක තබාගන්නට ඕනෙ. භෞතික දේවල් අතහැරෙයි, මෙන්න මේ ස්පර්ශ ආයතන හය අතහැරගන්න. ඇහැ අතහැරගන්න. රූපය, චක්ඛු විඤ්ඤාණය අතහැරගන්න පුළුවන්නම්. ළඟන් ම අහුවෙලා තියෙන්නෙ ඒ ටික. ඒ ටික තමන්ගෙ වෙලා තියෙන හින්දයි හතර ඉරියවුවෙ ම ඔය පින්වතුන්ට ඔය ටික පරිහරණය කරන්න පුළුවන්. ඕක තමයි තණ්හාව - තියාගෙන කනවා - ඇයි දැන් බැලූවා. බලලා ඉවරවෙලත් ඒක තවත් තියාගන්නවා නම්, සන්නිධිකාරය කියන්නෙ රැස් කිරීම කියන්නෙ නියම විදියට ඔන්න ඕක.


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

No comments:

Post a Comment

Don't add a word Here. I'll Kill you....