Sunday, March 27, 2016

මහරහතුන් වැඩි මග ඔස්‌සේ

 


කායානුපස්‌සනාවේ අරුත නොදැක්‌කොත් අපත් තිරිසන් සත්වයාත් එකම තැනකය

උපරිම අවු 07 කින් ලෝකයෙන් නිවීයාමේ උතුම් ධර්මයක්‌ දෝතින් දරාගෙන සතර සතිපට්‌ඨාන ධර්මයන් තුළින් සිත ආවරණය නොකරගත් නිසාම උරුමකරගත් සත්වයන්ගේ දුක මොනතරම් නම් දිග පළලද යන්න ඔබම නුවනින් මෙනෙහිකර දකින්න. 

කායානුපස්‌සනාව වැඩීමේදී, නැවත නැවත පුහුණුවීමේදී ආශ්වාදය කියන මාරධර්මය ගැන ඔබ හොඳින් සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. රූපයේ අනිත්‍ය, දුක්‌ඛ, අනාත්මභාවය වැඩීම නිසාම පිංවත් ඔබ අත්දකින අනිත්‍යභාවය කෙරෙහි සියුම් ආශ්වාදයක්‌ ඔබ තුළ ඇතිවෙන්න පුළුවන්. එම නිසා පිංවත් ඔබ තුළ සකස්‌වෙන රූපය කෙරෙහි අසුබ, පිළිකුල් සිත්ද අනිත්‍ය වශයෙන් දැකීමට ඔබ දක්‍ෂ වියයුතුයි. ඒ විතරක්‌ නෙවෙයි අනිත්‍ය වශයෙන් දකින සිතත්, අනිත්‍ය වශයෙන් දැකීමට ඔබ දක්‍ෂ විය යුතුයි. එසේ නොවුනොත් ඔබට සිතාගැනීමටවත් බැරි සියුම් තැන්වලින් මාරයා ඔබ තුළින්ම ක්‍රියාත්මක වෙනවා. 

සමහර පිංවතුන්ලා සිටිනවා, ඒ අය රූපයේ අනිත්‍යභාවය දකිනවා, භාවනා කරනවා. නමුත් එම පිංවතුන් තම ශරීරය පිරිසිදුව තබාගන්නේ නැහැ. පිළිවෙලකට පිරිසිදුව ඇඳුම් පැළඳුම් අඳින්නේ නැහැ. තමන්ගේ කාමරය කුටිය අපිළිවෙලටයි තබාගන්නේ. ඇයි මෙහෙම වෙන්නේ කියලා ඇසුවහම ඒ අය කියන්නේ සියල්ල අනිත්‍යයි කියලා. සමහර පිංවතුන්ලා සිටිනවා, කකුලේ එල්ලී ලේ බොන කූඩැල්ලා, කිනිතුල්ලා ගලවාදමන්නේ නැහැ. ඒ සතුන්ම ලේ බීලා වැටෙනකම්ම ශරීරයේ එල්ලාගෙන සිටිනවා. මදුරුවෙක්‌ ශරීරයේ වසා සිටියොත්a එලවාදමන්නේ නැහැ. මෙතැනදී මේ පිංවතුන්ලා තමා තුළ වැඩෙන අනිත්‍යයි කියන අර්ථයේ ආශ්වාදයකටයි, අන්තයකටයි කොටුවී සිටින්නේ. ඉහත ස්‌වභාවයන්, කායානුපස්‌සනාවේ නාමයෙන් ඔබ තුළ මෝදුවන මාර ධර්මයක්‌ම බව තේරුම්ගත යුතුයි. 

ලොව්තුරා බුදුරජාණන්වහන්සේ පිරිනිවන්පෑමට මොහොතකට පෙරාතුව, ආනන්ද ස්‌වාමීන්වහන්සේ බුදුරජාණන්වහන්සේගෙන් විමසනවා, ඔබවහන්සේ පිරිනිවන්පෑමට පසුව සම්බුද්ධ ශරීරයට කුමන ආකාරයෙන් කටයුතු සිදුකළයුතුද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන්වහන්සේ දේශනාකරනවා, ආනන්ද සක්‌විති රජකෙනෙකුගේ ශ්‍රී දේහයට දක්‌වන යම් ගෞරවයක්‌ ඇත්ද, එවැනිම ගෞරවයක්‌ බුදුරජාණන්වහන්සේගේ ශ්‍රී දේහයට දක්‌වන්නය කියලා. රූපයේ අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම ත්‍රිලක්‍ෂණය තුන්ලෝකයාටම දේශනාකළ සම්බුදුපියාණන්, පුරා හතලිස්‌ පස්‌වසරක්‌ම රූපයේ අනිත්‍යභාවය,අසුබභාවය, පිළිකුළම ලෝකයාට මතුකොට පෙන්වූ සම්බුදු පියාණන් තම මියගිය සම්බුද්ධ සිරුරට සක්‌විති රජකුගේ දේහයට දක්‌වන ගෞරවයන් දක්‌වන්න යෑයි ප්‍රකාශ කරන්නේ පිරිනිවීගිය සම්බුද්ධ රූපය තුළිනුත්, දෙව් මිනිසුන් සහිත ලෝකයාට ගෞරව පුද වන්දනා කිරීමට සලස්‌වා මෙලොව පරලොව යහපතට අදාළ කාරණා සලසාදෙන්නයි. තම ශ්‍රී දේහය උපයෝගී කරගෙන අන්තිම නිමේෂයේදීත් ලෝකයාට අනිත්‍ය සංඥාව මතුකොටදීමටයි. අන්තයන්ට කොටු නොවූ අනිත්‍ය සංඥාවේ අර්ථයයි අපි ඉහතින් දකින්නේ.

යම් පිංවතෙක්‌ භික්‍ෂුවගෙන් ඇසුවහොත් 'ඔබ වහන්සේ අපවත් වුණාට පස්‌සේ, ඔබ වහන්සේගේ මළ සිරුර සුදු රෙදිකඩක ඔතා, වළක්‌ කපා වළට දමන්නටද?' කියලා භික්‍ෂුව ඒ මහත්මයාට ප්‍රකාශ කරන්නේ 'මහත්තයෝ මේ රූපයෙන් යම් උතුම් කර්තව්‍යයක්‌ මනුෂ්‍යයෙකුට කරගන්නට තිබෙනවානම් භික්‍ෂුව ඒ කර්තව්‍යය කරගෙනයි සිටින්නේ. ඒ නිසා මේ රූපයෙන් දැන් භික්‍ෂුවට සත පහකවත් වැඩක්‌ නැහැ. මහත්තයාට අවශ්‍යනම් භික්‍ෂුවගේ මළ සිරුර උපයෝගීකොට මෙළොව පරළොව පිනට කුසලයට අදාළ කටයුතු කරගන්න' කියලා. අනිත්‍ය කියන සංඥාවේ නාමයෙන්, භික්‍ෂුව ඔහුට ප්‍රකාශ කළොත් භික්‍ෂුවගේ මළ සිරුර සුදුරෙදි කඩක ඔතා වළ දමන්න කියලා, අනිත්‍යයි කියන අර්ථයේ ආශ්වාදයට භික්‍ෂුව කොටුවුණා වෙන්න පුළුවන්. මම තුළ අනිත්‍ය සංඥාවද, අනිත්‍ය සංඥාව තුළ 'මම'ද සිටියා වෙන්න පුළුවන්. මෙවැනි 'අනතුරු'වලදී සංස්‌කාරයන්ට අදාළව වෙන්න තිබෙන දේ වෙන්න හැරලා, සිත අතහරින්න අප දක්‍ෂ වෙන්න ඕනේ.

ලොව්තුරා බුදුරජාණන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනාකොට ඇති පරිදි, සතර සතිපට්‌ඨාන ධර්මයන් නිවැරදිව පුහුණුකළොත් උපරිම හත්වසරකින් ධර්මාවබෝධය ලබන්න හැකිය කියන අර්ථය කල්ප සියක්‌ කෝටි ගණනක්‌ භවයේ ගතවෙලත් තවම අපට බැරිවුණේ කායානුපස්‌සනා ධර්මයන්ට අදාළව අපේ සිත වැඩෙන විට ආශ්වාදයට මුවාවී මාරයා ඉතා සියුම් තැන්වලින් පහරදෙන නිසාය. 

පිංවත් ඔබ නිරතුරුවම දෙතිස්‌ කුණපය දකිමින් ජීවත්වන්න. ඔබ ජීවිතය සමග පමණක්‌ ජීවත්වුණොත්, ඔබ ජීවත්කරන්නේ දෙතිස්‌කුණපයක්‌ය කියන කාරණය ඔබට අමතක වෙනවා. දඹදිව කොසොල් රාජ්‍යයේ සිරිමා කියල රූමත් තරුණ ගණිකාවක්‌ හිටියා. ඇයගේ තරුණ රූමත්භාවයට යාබද රාජ්‍යයන් පවා වශීවෙලයි සිටියේ. ඇය හදිසියේම මියපරළොව යනවා. බුදුරජාණන්වහන්සේට සිරිමාගේ මරණය ආරංචිවෙලා රජතුමාට පණිවුඩයක්‌ යවනවා, සිරිමාගේ මළ සිරුර අමුසොහොනේ සතුනට කන්න නොදී දින හතක්‌ ආරක්‍ෂා කරන්නය කියලා. සත්වෙනි දවසේ රටේ ජනතාවට දැනුම්දෙනවා රූමත් සිරිමාව දකින්න අමුසොහොනට එන්න කියලා. බුදුරජාණන්වහන්සේත් අමුසොහොනට වැඩම කරනවා. කොසොල් රජතුමාට බුදුරජාණන්වහන්සේ දැනුම්දෙනවා, ඉදිමී, නිල්පැහැගැන්වී, කුණු ඕජාව ගලමින්, පණුවන් නලියමින්, නිලමැස්‌සන්ට නිවහනක්‌වූ සිරිමා රූමතියගේ මළසිරුර වෙන්දේසි කරන්නය කියලා. රජතුමා මසුරන් දහසක ලංසුවකින් පටන් ගන්නවා. නමුත් අවසානයේ ලංසුව කහවනු එකක්‌ දක්‌වා අඩුකරනවා. සිරිමාවගේ රූපයකට කිසිම ලංසුවක්‌ නොදෙන නිසා අවසානයේ රජතුමා කියනවා නොමිලේ සිරිමාගේ රූපය අරගෙන යන්න කියලා. ඒත් කිසිවෙක්‌ ඉදිරිපත් වෙන්නේ නැහැ. මීට සතියකට පෙර කහවනු දහස්‌ ගණනකට මිල නියමවූ රූමත් සිරිමාගේ සිරුර අවසානයේ මළකුණු කන තිරිසන් සතුන්ට පමණක්‌ වටිනා දෙයක්‌ වුණා. සිරිමා රූමතිය ජීවතුන් අතර සිටියදී, ධනවත් සිටුවරුන්, කුළවතුන් එම රූපයේ රසවින්දා. සිරිමා මියගියවිට එම රූපය තිරිසන් සතුන් රස කරමින් රසවින්දා. කායානුපස්‌සනාවේ අර්ථය නොදන්න නිසාම තිරිසන් සතා කරනා දෙයම අපි තවමත් කරමින් සිටිනවා.ජීවත්ව සිටින රූපය මනුෂ්‍යයා රසවිඳිනවා. මියගිය රූපය තිරිසන් සතා රසවිඳිනවා. කායනුපස්‌සනාවේ අර්ථය රූපය මළත් නොමළත් ජරාවටම පිළිකුලටම අයත් දෙතිස්‌ කුණුපයක්‌ම බව පිංවත් ඔබට අවබෝධකොට දෙනවා. 

(
දෙතිස්‌ කුණුපයට අදාළ කොටස මෙයින් නිමවේ)

ඉදිරිපත් කිරීම 
ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

No comments:

Post a Comment

Don't add a word Here. I'll Kill you....