Sunday, November 6, 2016

මහරහතුන් වැඩි මග ඔස්‌සේ චිත්තානුපස්‌සනාව - 11

 

මහරහතුන් වැඩි මග ඔස්‌සේ චිත්තානුපස්‌සනාව - 11
කාලය මවනා වෙනසක යථාර්ථය විනිවිද දකින්න

පිංවත් ඔබේ කයේ ක්‍රියාකාරිත්වය උදෙසා උපකාරක ධර්මයන් සකස්‌ කරදෙන කාය සංස්‌කාර, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය, රුධිරගමනය, ආහාර ජීර්ණය, ශරීර අපද්‍රව්‍ය බැහැර කිරීම මේ සෑම ක්‍රියාවක්‌ම ධර්මතාවක්‌. නමුත් ඒ ධර්මතාව අනිත්‍ය නිරතුරුවම වෙනස්‌වන ස්‌වභාවයෙන් යුක්‌තයි. මවකට දරු ප්‍රසූතියෙන් අනතුරුව මවුකිරි එරීම ධර්මතාවයක්‌. 

පිංවත් ඔබ ආධ්‍යාත්මික රූපයේ අනිත්‍යභාවය දකිනවා වගේම, බාහිර රූපයන් කෙරෙහිද එම අනිත්‍ය සංඥාව මතුකොට දකිමින් බාහිර රූපයන් කෙරෙහි තෘෂ්ණාව සියුම්කොට ගන්න. පිංවත් ඔබේ ඇසට, කනට, නාසයට, දිවට, ශරීරයට, මනසට අරමුණුවෙන්නා වූ සෑම බාහිර රූපයක්‌ම අතීත, වර්තමාන, අනාගත වශයෙන් අනිත්‍ය සංඥාවට ලක්‌කරන්න. 

පිංවත් ඔබ සක්‌විති රජවෙලා, ඉපදුණු වේලාවේ මොන තරම් බාහිර රූපයන් මගේකොටගෙන ජීවත්වන්න ඇතිද? සක්‌විති රජුට අයිතිවන සුරූපි ස්‌ත්‍රීරත්නය, සෘධිමත් ඇතා, සෘධිමත් අජානීය අශ්වයා, මහපොළොව යට තිබෙන ඕනෑම සම්පතක්‌ දිවැසින් දැකියහැකි පුරෝහිතයන්, මුළු ලෝකයට දිග්විජය කරන සක්‌විති රජුට දාව උපත ලබන පුතුන් දහස... මේ සෑම බාහිර රූපයක්‌ම අනිත්‍ය වී ගියා, අහිමිවී ගියා. පිංවත් ඔබ අතීතයේ ශක්‍ර දෙවියන්ව ඉපැදුණු වේලාවේ ඔබට ලැබුණු සුජම්පතී බිසව, වෛජයන්ති මාලිගාව, දිව්‍ය අප්සරාවන්, දිව්‍ය භෝජන.... මේ සෑම බාහිර රූපයක්‌ම වෙනස්‌වී ගියා. අහිමිවී ගියා. ඔබ අතීතයේ මනුෂ්‍ය ජීවිත ලබපු වේලාවේ ඔබට ලැබුණු අම්මලා, තාත්තලා, බිරින්දෑවරු, ස්‌වාමිපුරුෂයන්, දරුවන්, ඥාතීන්, දේපළ, ඉඩකඩම්, යාන වාහන වෙනස්‌වී ගියා. අනිත්‍යවී ගියා. 

වරක්‌ පිංවත් මහත්මයෙක්‌ විමසුවා, ඔබ වහන්සේ ගිහි ජීවිතයේදී විවාහ නොවී, පැවිදි වූයේ ඇයිද කියලා. භික්‍ෂුව ඒ මහත්මයාට ප්‍රකාශ කළේ 'මහත්තයෝ, මේ මනුෂ්‍ය ලෝකයේ ජීවත්වන සෑම පුරුෂයෙක්‌ම, ස්‌ත්‍රියක්‌ම අතීතයේ මට බිරිඳවෙලා, ස්‌වාමිපුරුෂයා වෙලා තිබෙනවා. මට පෙම්වතෙක්‌, පෙම්වතියක්‌ වෙලා තිබෙනවා. මට අතීතයේ බිරිඳක්‌, ස්‌වාමිපුරුෂයෙක්‌, පෙම්වතෙක්‌, පෙම්වතියක්‌ නොවූ කිසිම සත්ත්වයෙක්‌ මේ ලෝක ධාතුවේ නැහැ. ඒ කියන්නේ මේ ලෝකයේ සිටින සෑම සත්ත්වයෙකුටම මම අතීතයේ ආදරය කරලා තිබෙනවා. විවාහ ගිවිසගෙන තිබෙනවා. ඒ නිසා මහත්තයෝ අතීතයේ ආදරය කර තිබෙන අයට නැවත ආදරය කරන්න යන එකේ තේරුමක්‌ නැහැ. ඒ නිසාමයි මම පැවිදි වූයේ' කියලා.

අතීතයේ බිරින්දෑවරු, ස්‌වාමිපුරුෂයන්, පෙම්වතුන්, පෙම්වතියන් කියන බාහිර රූපයන් නිසා මම හෙලූ කඳුළු මහා සාගරයේ ජලයට වැඩියි. අතීතයේ බිරින්දෑවරු, ස්‌වාමිපුරුෂයන් අහිමිවීම නිසා, අතහැර යෑම නිසා, සිත්රිදවීම් නිසා, අන්‍ය සැමියන් බිරින්දෑවරු සමග එක්‌වී දුන් කායික මානසික පීඩාවන් නිසා, මරාදැමීම් නිසා, කාමය වරදවා හැසිරීම් නිසා, විරහ වේදනාවන් නිසා, අතීතයේ බාහිර රූපයන් මගේ කරගැනීම නිසා මම හෙලා ඇති කඳුළුයි මහා සාගරයේ ජලකඳ දකින විට භික්‍ෂුවට සිහිපත් වෙන්නේ, අතීත භවයන්හිදී පිංවත් ඔබ ධනය, බලය, තනතුරු, දේපළ නැමැති බාහිර රූපයන් කෙරෙහි තෘෂ්ණාවෙන් ඒවා අයිතිකොටගැනීමට යෑම නිසා, මොනතරම් රාජදඬුවම් ලබන්නට ඇතිද? හිසගැසුම් කන්නට ඇතිද? අතපය කපා දැමීම්, උලතැබීම් වලට ලක්‌වෙන්න ඇතිද? සතර අපායන්ට වැටිලා මොන තරම් දහදුක්‌ විඳන්නට ඇතිද? බාහිර රූපයන් කෙරෙහි පිංවත් ඔබ ඇතිකොටගත් තෘෂ්ණාව පිංවත් ඔබට අතීතයේ කර ඇති විනාශය නුවනින් දකින්න. අපි නිතරම අතීත බාහිර රූපස්‌කන්ධය ආශ්වාදයක්‌කොට ගන්නවා. 'මගේ තාත්තා හිටපු නායකයෙක්‌. අසවල් රජතුමා අපේ ඥාතියෙක්‌. අපේ අහවලා සභාපති කෙනෙක්‌, ලේකම් කෙනෙක්‌, විදුහල්පති කෙනක්‌. මගේ තාත්තා ලොකු දේපළ හිමි ධනවතෙක්‌. මගේ තාත්තා උගතෙක්‌. අතීතයේ මගේ රට පෙරදිග ධාන්‍යාගාරයක්‌....' මේ සංස්‌කාරයන් අපට අයිති නැති බව, වෙනස්‌වූ බව අපි දකින්නේ නැහැ. එම නිසා පිංවත් ඔබ අතීත බාහිර රූපස්‌කන්ධයේ අනිත්‍යභාවය නිරතුරුවම නුවනින් දකින්න. 

අතීතයේ ඔබේ ඇසෙන් බුදුරජාණන්වහන්සේලා කොතෙක්‌ නම් දකින්නට ඇතිද? පසේබුදුරජාණන්වහන්සේලා, මහරහතුන්වහන්සේලාගේ රූපයන් කොතෙක්‌ නම් දකින්නට ඇතිද. ඒ සෑම බාහිර රූපයක්‌මත්, එම රූපයන් දුටු ඔබේ ආධ්‍යාත්මික රූපයනුත් නිරතුරු වෙනස්‌ වීම නිසා අනිත්‍යවී ගියා. අතීත රූපස්‌කන්ධයේ අනිත්‍යභාවය ආධ්‍යාත්මික, බාහිර වශයෙන් අර්ථවත්ව නුවනින් දකින පිංවත් වර්තමාන, අනාගත, රූපය කෙරෙහි තෘෂ්ණාව සියුම්කොට ගන්නවා. භික්‍ෂුව ඉහතින් සඳහන් කළේ, පංචඋපාදානස්‌කන්ධයට අදාළව රූපයේ අතීත, වර්තමාන, අනාගත වශයෙන් අනිත්‍ය සංඥාව මතුකොටගන්නා ආකාරයයි.

ඉදිරිපත් කිරීම
ඉන්ද්‍රජිත් සුබසිංහ


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

No comments:

Post a Comment

Don't add a word Here. I'll Kill you....