Tuesday, December 4, 2018

7. බුදු දහම නොරැවටී වටහාගන්නට නම්...

දුක යනු ප්‍රහාණය කළයුත්තක් නෙමෙයි, පිරිසිඳ දැකිය යුත්තක්. එවිටයි දුක්ඛ නිරෝධය හෙවෙත් හට නොගැනීම සාක්ෂාත් වෙන්නේ. ප්‍රහාණය කල යුත්තේ තණ්හාව යි අවිද්‍යාවයි. එහෙනම් අපට දුකෙන් මිදෙන්න නම්  පටිච්චසමුප්පාදය ප්‍රඥාවෙන් දකින්නම වෙනවා නේ

බුදුහිමියන් ගේ ද්ශනාව කුමක්ද?

 

... යේ ධම්මා හේතුප්පභවා - තේසං හේතුං තථාගතෝ ආහ

තේසං ච යෝ නිරෝධෝ - ඒවං වාදී මහා සමණෝ

~ විනයපිටකයමහාවග්‌ගපාළිමහාඛන්‌ධකොසාරිපුත්‌තමොග්‌ගල්‌ලානපබ්‌බජ්‌ජාකථා

 

හේතු නිසා හටගත් යමක් ඇත් ද, එම හේතුන්‍ තථාගතයන් වහන්සේ විස්තර කරන සේක;

ඒවායේ නිරෝධයත් (මුළුමනින්ම නැති වීමත්) දේශනා කළ සේක. (බුදුරජාණන් වහන්සේ) මෙසේ පවසන මහා ශ්‍රමණයන් වහන්සේ නමකි..

 

බුදු දහම කියන කොට ම වැටහුනේ, පාරමිතා සපිරුණු, හිරු එළිය ලද විගස පිපෙන්නට සිටි පියුමක් පරිද්දෙන් සිටි උපතිස්ස, භාහිය දාරූ චීරිය, පුක්කුසාති වැනි මහා ප්‍රාඥයන්ට. මින් අසංඛෙයි‍ය කල්ප ගණනකට පෙර "අනෝමදස්සී" සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ සාසනය තිබියදී "සරද" නම් තාපසයකු ව විසූ කාලයේ  සිට පෙරුම් පිරූ  සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉහත ගාථාවේ මුල් පද දෙක අසන විටම සත්‍යාවබෝධය කළා. ඔබේ ශාස්තෘවරයා මොනවාද දේශනා කරන්නේ කියා අස්සජී මහා රහතන්වහන්සේගෙන් ඇසූ උපතිස්ස පිරිවැජියාට දුන් පිළිතුර එම ගාථාවයි.  පළමු දෙපදයේ අනුලෝම පටිච්චසමුප්පාදයත් තුන්වන පදයේ පටිලෝම පටිච්චසමුප්පාදයත් හකුලවා කියනවා. එහෙනම් අපත් සත්‍යාවබෝධයට කළයුත්තේ පටිච්චසමුප්පාදය ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන ම නේද?

හැබැයි අප ලෝකයේ යමක් වටහාගන්නේ ශ්‍රද්ධා, රුචි, අනුශ්‍රව, ආකාර පරිවිතක්ක, දෘෂ්ටි නිජ්ඣානක්ඛන්ති කියන ලෞකික ක්‍රමයන්ට පමණයි. ප්‍රඥාවෙන් දැකීම යනු මේ ආකාර ඉක්මවූ දැකීමක්.

 

මේක අහපු ගමන් ප්‍රඥාවෙන් දකින්න නම් ඉහත උතුමන් පරිදි උග්ගටිතඤ්ඤ හෝ විපටිතඤ්ඤ මහා ප්‍රඥයකු වෙන්න සිද්ධ වෙනවා. එහෙම නැතිනම්, න්‍යෙය පුද්ගලයකු ලෙස වීර්යයෙන්, ශ්‍රද්ධාවෙන්  කල්‍යාණ මිත්‍ර සේවනය කරමින් පිරිසිදු ධර්මයම හදාරමින්, සීල සමාධි ප්‍රඥා එකිනෙකට ප්‍රත්‍ය වෙමින් වැඩෙන ධම්මානුධම්ම ප්‍රතිපදාවක යෙදෙන්න වෙනවා.

 

මට ධර්මය උගන්නන්න තරම් ධර්මාවබෝධයක් නැති නිසා මෙතනින් නවතින්නම්. මේ ටික ලිව්වේ දැනට සද්ධර්ම ප්‍රතිරූපක වලට අසුවී දහම දැක්කයි දෘෂ්ටිවල ඉන්න අයට නෙමෙයි. ඒ අය මේවා කියවා නැවත සිතන්නට නොපෙළඹෙන බව දන්නවා. මා ද එවැනි දහමක ට නතුවෙන්නට ගොස් ගැලවුනේ කල්‍යාණ මිත්‍රයන් නිසා මයි. ඒ නිසා තවම අසුවී නැති අයට, ඉදිරියට මෙවැනි ප්‍රතිරූපක ලැබෙනවිට සිතන්නට යමක් ලිවීම මෙහි අරමුණයි.

 

(කල්‍යාණ මිත්‍ර පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමින්වහන්සේ දේශනා තුල සද්ධර්ම ප්‍රතිරූපක පිළිබඳව පෙන්වා දුන් විග්‍රහයන් මෙහිදී මා උපකාර කරගත්තා.)

තෙරුවන් සරණයි.

 

 

 

 


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

No comments:

Post a Comment

Don't add a word Here. I'll Kill you....