Monday, October 17, 2016

මහරහතුන් වැඩි මග ඔස්‌සේ - චිත්තානුපස්‌සනාව - 6

 


ඇය මට ද මට ඇය ද නොව අප දෙදෙනාම අයිති ධර්මතාවකටය

 

 

පිංවත් ඔබේ කයේ ක්‍රියාකාරිත්වය උදෙසා උපකාරක ධර්මයන් සකස්‌ කරදෙන කාය සංස්‌කාර, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය, රුධිරගමනය, ආහාර ජීර්ණය, ශරීර අපද්‍රව්‍ය බැහැර කිරීම මේ සෑම ක්‍රියාවක්‌ම ධර්මතාවක්‌. නමුත් ඒ ධර්මතාව අනිත්‍ය නිරතුරුවම වෙනස්‌වන ස්‌වභාවයෙන් යුක්‌තයි. මවකට දරු ප්‍රසූතියෙන් අනතුරුව මවුකිරි එරීම ධර්මතාවයක්‌. 

චක්‌ඛුඤ්ඤාණ විඤ්ඤාණය, ශ්‍රොත විඤ්ඤාණය, ඝාන විඤ්ඤාණය ජිව්හා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය, මනෝවිඤ්ඤාණය හේතුවෙන්, කාමයේ ආශ්වාදය සකස්‌ වීම ධර්මතාවක්‌. 

පිංවත් ඔබ ආයතන හය නිසා ජීවිතයේ ලැබූ කාමාශ්වාදයන් නුවණින් මෙනෙහි කරන්න. පිංවත් ඔබ මුලින්ම ආශ්වාදයක්‌ කරගත්තේ ඔබේ අම්මාගේ ගර්භාෂකුටියයි. කුඩා ඉඩකඩක්‌ තුළ උෂ්ණය, ලේ, සැරව, දෙතිස්‌ කුණුපයක්‌ මැදිකොට ගෙන ඔබ ඇතිකරගත් මේ ජීවිතයේ මුල්ම ආශ්වාදය අනිත්‍යවූ ධර්මයක්‌. ඔබ ජීවිතයේ දෙවැනියට ඇතිකරගත් ආශ්වාදය මව් සෙනෙහසයි. මව් උණුසුමයි, මව්කිරි සුවඳයි. ඒ සෑම ආශ්වාදයක්‌ම අනිත්‍යවූ ධර්මතාවයක්‌.

කාමයේ ආශ්වාදය හේතුවෙන් කාමයේ ආදී නවය සකස්‌වීම ධර්මතාවයක්‌. අම්මා කියන රූපය කෙරෙහි ඇතිකරගත් කාමයේ ආශ්වාදය නිසා මොනතරම් නම් ආදීනවයක්‌ ඇතිද? කාමයේ ආශ්වාදයට බැඳී ගියොත් කාමයේ ආදීනවය ඇතිවීම ධර්මතාවක්‌. නමුත් මේ ධර්මතාව අනිත්‍යයි. මා බැඳී ගිය අම්මාය කියන රූපය මේ මොහොතේ පටිච්ච සමුප්පන්නව වෙනත් උපතකට ගිහිල්ලා. ඇය මට අයිති නැහැ. මා ඇයට අයිතිත් නැහැ. මේ සියල්ලම අයිති පටිච්ච සමුප්පාද ධර්මයන්ට. නමුත් මේ ධර්මතාවද අනිත්‍ය වු ධර්මතාවක්‌. යම් පිංවතෙක්‌ කාමයේ ආශ්වාදයේ අනිත්‍යභාවය අවබෝධකරගෙන ආදීනවයෙන් මිදී කාමයේ නිස්‌සරණය සාක්‌ෂාත් කොට ගැනීමද ධර්මතාවක්‌. ඒ ධර්මතාවයන් පිරිණිවී යැමෙන් අනිත්‍යභාවයට පත්වෙනවා.

බුදුරජාණන්වහන්සේ දේශනාකරනවා රූපයේ ආශ්වාදය කියල කියන්නේ අවුරුදු 18 ත් 20 ත් පිරිමි දරුවෙක්‌ගේ, ගැහැනු දරුවෙක්‌ගේ රූපයේ තාරුණ්‍යය, හැඩය, වර්ණය, මටසිළුටුබව, ලස්‌සනය කියලා, එයත් ධර්මතාවක්‌. නමුත් ඒ ධර්මතාවය අනිත්‍යයි. රූපයේ ආශ්වාදය පසුපස නිරතුරුවම රූපයේ ආදීනවය සැඟවී තිබෙනවා. ඒ කියන්නේ ජාති, ජරා, ව්‍යධි, මරණ මේ ධර්මතාවන්ගේ ස්‌වභාවයත් අනිත්‍යයි. පිංවත් ඔබ ඔබේ ශරීරයේ රුළිවැටුණු සම දෙස බලමින් වැහැරෙමින් එල්ලී වැටීමට මානබලන මස්‌පිඩු දෙස බලමින්, අල්මාරිමේසය මත තිබෙන මංගල ඡායාරූපය දෙස බලමින්, රූපයේ ආශ්වාදයේ අනිත්‍යභාවයන් රූපයේ ආදීනවයන් ගැන ධම්මානුපස්‌සනාවෙන් බලන්න. මාගේ අම්මා තත්තාගේ මංගල ඡායාරූපය තවමත් මහගෙදර අල්මාරි මේසය මත තබා ඇති මට ඒ ඡායාරූපය සිහි වන විට හාස්‍යයක්‌ පමණයි දැනෙන්නේ. ධම්මානු පස්‌සනාවෙන් ආවරණය නොවූ සිත මොන බලපෑමක්‌ද සත්ත්වයාට කරන්නේ කියලා...

උපත සිහිවෙන මොහොතේදීම මරණය ධර්මතාවක්‌ බව නුවණින් දකින්න. ඒ ධර්මතාව අනිත්‍ය වූ ධර්මතාවක්‌. රූපයේ ආශ්වාදයේ කෙටි භාවයත් ආදීනවයේ දිගුභාවයත් අවබෝධ කරගත් උත්තමයා ආර්යාඅෂ්ටාංගික මාර්ගය තරණය කර රූපයේ නිස්‌සරණය සාක්‌ෂාත් කරගැනීමද ධර්මතාවයකි. එයද අනිත්‍ය වූ ධර්මතාවකි. 

බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, පළමුවැනි, දෙවැනි, තෙවැනි, සතරවැනි ධ්‍යාන තල, වේදනාවේ ආශ්වාදයයි කියලා. පංචනීවරණ ධර්මයන් යටපත් වීමේ ප්‍රමාණයට ධ්‍යාන තල සකස්‌ වීම ධර්මතාවක්‌. නමුත් ඒ ධර්මතාව අනිත්‍යයි. මොකද ඉහත රූපාවචර ධ්‍යාන්‍ය තල අනිත්‍ය භාවයට පත්වෙනවා. ධ්‍යාන්‍ය තල පිරිහීම වේදනාවේ ආදීනවයයි. එයත් ධර්මතාවක්‌ පංචනීවරණයන් මතු වීමේ ප්‍රමාණයට ධ්‍යාන්‍යතල පිරිහී යනවා. වේදනාවේ ආශ්වාදයේ අනිත්‍ය භාවයත් ආදීනවයේ අනිත්‍යභාවයත් අවබෝධ කරගත් තැනැත්තා වේදනාවේ නිස්‌සරණය ලබාගැනීමද ධර්මතාවක්‌, ඒ ධර්මතාවත් අනිත්‍ය වූ ධර්මතාවක්‌. 

පිංවත් ඔබට මේ ජීවිතයේදී යහපත් අම්මා කෙනෙක්‌, තාත්තා කෙනෙක්‌, සහෝදර, සහෝදරියන් දරුවන්, ඥාතීන්, බිරිඳක්‌, සැමියෙක්‌ ලැබුණා නම් එය අතීත කුසල් සංස්‌කාරයක ඵලයක්‌. ඒ කියන්නේ ධර්මතාවක්‌. නමුත් මේ ධර්මතාව අනිත්‍යයි. එක මහත්මියක්‌ භික්‍ෂුවට ප්‍රකාශ කළේ ස්‌වාමීන්වහන්ස, මම විවාහ වුණ අලුත මගේ ස්‌වාමි පුරුෂයා දෙවියෙක්‌ වගෙයි සිටියේ. දැන් ඔහු යක්‍ෂයෙක්‌ වගේය කියල. අම්මා කෙනෙක්‌ කියනවා ස්‌වාමීන්වහන්ස, මගේ දරුවා හොඳ කීකරුවට හිටියේ දැන් හරිම මුරණ්‌ඩුයි කියලා. මේ අපි දකින්නේ ධර්මතාවන්ගේ වෙනස්‌ වීමයි.

කුළුඳුල් දරුවා ලැබුණු අම්මා කෙනෙක්‌ කියනවා හාමුදුරුවනේ, දරුවා ලැබුණත් මට කිරි එරෙන්නේ නැහැය කියල. එයත් ධර්මතාවක්‌. මේ කුළුඳුල් දරුවා පෙර ජීවිතයේදී සිල්වත් ස්‌වාමීන්වහන්සේ නමකට පූජාකරන ලද කිරි කෝප්පයක්‌ හොරෙන් බොන්න ඇති, එහෙම නැත්නම් සංඝයාට ලැබිය යුතු කිරි ආහාරයක්‌ වළක්‌වන්න ඇති, බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන පිංවතෙක්‌ කිරි කළයකින් බෝධීන් වහන්සේ නහවනවා දැක එය විවේචනය කරන්න ඇති, අතීත අකුසල් කර්මයක හේතුඵලයක්‌. නමුත් මේ ධර්මතාවන් අනිත්‍යයයි. පිංවත් ඔබට අංගවිකල, මන්දබුද්ධික, නිරතුරුවම රෝගීභාවයට පත්වෙන දරුවන් ලැබී ඇත්නම් එයත් ධර්මතාවක්‌. පෙර ජීවිතයක දෙමාපියනුත්, දරුවනුත් එකතුව කරන ලද අකුසලයක ඵලයක්‌. එම නිසා පිංවත් ඔබ එවැනි උපත් කෙරෙහි කලකිරීම්, ගැටීම් ඇති නොකරගෙන ධම්මානුපස්‌සනාවෙන් යුතුව එම දරුවන් දෙස බලන්න. මෙවැනි අකාරුණික උපත් වලින් මිදීමට ඇති එකම ඖෂධය එය වනු ඇත. අනිත්‍ය වන ධර්මතාවන්ට ගැටී තව තව අකුසල් සිදු නොකරගන්න. 

ඉදිරිපත් කිරීම ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

No comments:

Post a Comment

Don't add a word Here. I'll Kill you....