Monday, October 31, 2016

මහරහතුන් වැඩි මග ඔස්‌සේ: තුන් කාලයටම ගලපා රූපයේ අනිත්‍යභාවය දකින්න

 

තුන් කාලයටම ගලපා රූපයේ අනිත්‍යභාවය දකින්න
මහරහතුන් වැඩි මග ඔස්‌සේ
චිත්තානුපස්‌සනාව - 11

පිංවත් ඔබේ කයේ ක්‍රියාකාරිත්වය උදෙසා උපකාරක ධර්මයන් සකස්‌ කරදෙන කාය සංස්‌කාර, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය, රුධිරගමනය, ආහාර ජීර්ණය, ශරීර අපද්‍රව්‍ය බැහැර කිරීම මේ සෑම ක්‍රියාවක්‌ම ධර්මතාවක්‌. නමුත් ඒ ධර්මතාව අනිත්‍ය නිරතුරුවම වෙනස්‌වන ස්‌වභාවයෙන් යුක්‌තයි. මවකට දරු ප්‍රසූතියෙන් අනතුරුව මවුකිරි එරීම ධර්මතාවයක්‌. 

බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, මහණෙනි රූපයේ ආශ්වාදයක්‌ තිබෙනවා. වයස අවුරුදු දහඅටක්‌, දහනමයක්‌ වයසැති තරුණයකුගේ, තරුණියකගේ රූපයේ ඇති ප්‍රභාශ්වරය, තාරුණ්‍යය, ලාලිත්‍යය, රිද්මය, විකසිත භාවය රූපයේ ආශ්වාදයයි කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. පිංවත් ඔබ මතකයෙන් ඔබේ අතීතයට යන්න. පිංවත් ඔබට ඒ තාරුණ්‍යයේ හිමිව තිබූ රූපයේ ආශ්වාදය වෙනස්‌වී ගිය හැටි නුවණින් දකින්න. ඔබ අත්විඳින රූපයේ කෙටි ආශ්වාදය නිසා, පිංවත් ඔබ දීර්ඝකාලීන වූ ආදීනවයන් අත්විඳිනවා. තාරුණ්‍යයේ රිද්මයෙන්, ලාලිත්‍යයෙන්, විකසිත භාවයේ තිබූ රූපය, මෝරා, නෙරා, ඉදිමී, හැකිළී, එල්ලී වැටෙන ජරා ව්‍යාධි ලක්‍ෂණ රූපයේ දීර්ඝකාලීන වූ ආදීනවයයි කියලා, බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. 

යුරෝපයේ රැකියාව කරන මහත්මයෙක්‌ භික්‍ෂුව මුණගැහෙන්න වසරකට වරක්‌ එනවා. එම මහත්මයාගේ මෑණියන්ගේ වයස අවුරුදු හැත්තෑ පහක්‌ වෙනවා. මේ මහත්මයා ධර්මයට ලැදි වුණත්, තමන්ගේ අම්මා ගැන ප්‍රසාදයකින් කතා කරන්නේ නැහැ. '
ස්‌වාමීන්වහන්ස, මම මගේ අම්මාගෙන් මොනවද එයාගේ අවශ්‍යතා කියලා ඇහුවහම, කවදාවත් බණ පොතක්‌, සිල් ඇඳුමක්‌, වන්දනා ගමනක්‌ යන්න අවශ්‍යයි කියලා කියන්නේ නැහැ. අම්මා නිතරම ඉල්ලන්නේ ශරීරය අලංකාර කරන ඇඳුම් පැළඳුම්, සුවඳ විලවුන් වැනි දේවල් පමණක්‌මයි. මම කාමරයකට වෙලා ධර්ම දේශනාවකට ඇහුම්කන් දීගෙන ඉන්නකොට, අම්මා ලස්‌සනට ඇඳගෙන, සුවඳ විලවුන් තවරාගෙන පියානෝ එක වාදනය කරනවා'
 
කියලා ඒ මහත්මයා කියනවා.

ඒ අම්මා මෝරා, නෙරා, ඉදිමී, හැකිළී, එල්ලීගිය රූපයේ ආදීනවයෙනුත් දකින්නේ ආශ්වාදයකුයි. රූපයේ ආදීනවයත් ආශ්වාදයක්‌ කොටගන්න සමාජයක රූපයේ නිස්‌සරණය හුදු මායාවක්‌ම වෙනවා. වර්තමාන රූපස්‌කන්ධයේ අනිත්‍ය භාවය නොදකින කෙසේනම් අතීත රූපස්‌කන්ධයේ අනිත්‍ය භාවය දකින්නද?

පිංවත් ඔබ මොහොතක්‌ විවේකීව දෑස්‌ පියාගෙන අතීත රූපස්‌කන්ධයේ අනිත්‍යභාවය නුවණින් දකින්න. අතීත රූපයේ ජරා, ව්‍යාධි, මරණ ස්‌වභාවයන් මතුකොට දකිමින්, අතීත රූපස්‌කන්ධය කෙරෙහි කලකිරීම ඇති කොටගන්න. 

බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, මේ ජීවිතයේ මවුකුසේ කලල රූපයෙන් එහාට, පටිච්ඡසමුප්පන්නව අතීත රූපයේ අනිත්‍යභාවය දකින්නය කියලා. දීර්ඝ වූ අතීත භවගමනේදී ඔබ සක්‌විති රජුවෙලා ඉපදුණ වේලාවේ, ඔබ ලැබූ දෙතිස්‌ මහා පුරුෂ ලක්‍ෂණයෙන් බබළන රූපකාය, අනිත්‍ය වී ගිය හැටි නුවණින් දකින්න. ඔබ අතීතයේ සක්‍ර දෙවියන් වෙලා තව්තිසාවේ ඉපදුණු වෙලාවේ, ඔබට ලැබුණු දිව්‍ය තේජසින්, දිව්‍ය ඕජසින් පිරීගිය ශක්‍රදෙවි රූපය වෙනස්‌වී ගිය හැටි නුවණින් දකින්න. රජවරු සිටුවරු වෙලා, ඔබට ලැබුණු රාජ තේජසින් බබලන රූපයන් වෙනස්‌වී ගිය හැටි නුවණින් දකින්න. අතීතයේ ඔබ, රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල ඉපදිලා, ඔබ ලැබූ බ්‍රහ්ම රූපයන් වෙනස්‌වී ගිය හැටි නුවණින් දකින්න. අතීතයේ ඔබ මවුකුසේදීම ගබ්සාවී ගිය හැටි, ළදරු කාලයේදීම, ළමා තරුණ වයසේදීම මියගිය, අතීත රූපයන්ගේ අනිත්‍ය භාවය නුවණින් දකින්න.

අතීතයේ ඔබ සතර අපායන්ට වැටිලා අලියෙක්‌, කොටියෙක්‌, ප්‍රේතයෙක්‌, ප්‍රේතියක්‌, මහා සාගරයේ අසුරයෙක්‌, තිරිසනෙක්‌ වෙලා ඉපදුණු වෙලාවේ ඔබ ලැබූ රූපයන් අනිත්‍ය වී ගිය හැටි නුවණින් දකින්න. අතීතයේ ඔබ මනුෂ්‍ය කුලවල ඉපදිලා, සත්ත්ව කුලවල ඉපදිලා මියගිය අවස්‌ථාවලදී එකතුවූ මළකඳන් එක ගොඩක්‌ ගැහුවොත්, එම මළකඳන් ගොඩ ගිඡ්ජකූඨ පර්වතයට වඩා උසයි කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. පිංවත් ඔබ ගිඡ්ජකූඨ පර්වතය සිතින් මවාගෙන අතීත රූපයන්ගෙන් ගොඩනැඟුණු ඔබේ මළකඳන් ගොඩ නුවණින් දකින්න. පිංවත් ඔබ දෙපා තබාගෙන සිටින මහ පොළොවේ පස, අතීතයේ ඔබේ රූපයන් නමැති සතර මහා ධාතුවේම අනිත්‍ය භාවයෙන් සැදුණු සතර මහා ධාතුවක්‌ බව නුවණින් දකින්න. පිංවත් ඔබ මහපොළාව මත දෙපා තබන සෑම පියවරක්‌ පාසාම, ඔබ දෙපා තබන්නේ ඔබේම අතීත රූපයන්ගේ අනිත්‍ය භාවයෙන් ගොඩනැඟුණු මළකඳන් ගොඩ මතම බව නුවණින් දකිමින් පියවර තබන්න.

මේ ඔබ දකින්නේ අතීත රූපස්‌කන්ධයේ අනිත්‍යභාවයයි. පිංවත් ඔබට මේ ජීවිතයේදී ලැබුණු ඔය ඇස්‌දෙක වගේ ඇස්‌ කෝටි කීයක්‌ සංසාරයේ ඔබ ලබන්න ඇතිද? පිංවත් ඔබට මේ ජීවිතයේදී ලැබුණු කන්දෙක වගේ කන් කෝටි කීයක්‌ සංසාරයේ ඔබට ලැබෙන්නට ඇතිද...

අතීතයේ ඉපදුණාවූ සෑම ඇසක්‌, කනක්‌, දිවක්‌, ශරීරයක්‌ම වෙනස්‌වී ගිය හැටි, අහිමිවී ගිය හැටි, පටිච්ඡ සමුප්පන්නව නැවත ඉපදුණු හැටි නුවණින් දකින්න. ඒ ඔබ දකින්නේ අතීත රූපස්‌කන්ධයේ අනිත්‍ය භාවයයි. අතීතයේ කොතැනකවත් වෙනස්‌ නොවූ ජරා, ව්‍යාධි, මරණවලට පත් නොවූ රූපයක්‌ නම් තිබුණේ නැහැ යෑයි දකිමින් අතීත රූපස්‌කන්ධය අනිත්‍ය යෑයි වශයෙන් දකින්න. 

අතීත රූපස්‌කන්ධය අනිත්‍ය වී ගියානම්, වර්තමාන රූපයත් අනිත්‍යනම්, පිංවත් ඔබ '
මට අනාගතයේදී මෙවැනි රූපයක්‌ ලැබේවා'
 
කියලා, මට ලස්‌සන රූපයක්‌ ලැබේවා, නිරෝගී රූපයක්‌ ලැබේවා. ජරා ව්‍යාධි මරණයන් නැති රූපයක්‌ ලැබේවා බලාපොරොත්තුවක්‌ ඇති කරගතහොත්, එම බලාපොරොත්තුව නිත්‍යවේද? අනිත්‍යවේද? පිංවත් ඔබ '
මට අනාගතයේදී මෙවැනි සශ්‍රීක දිව්‍ය ජීවිතයක්‌, බ්‍රහ්ම ජීවිතයක්‌, මනුෂ්‍ය ජීවිතයක්‌ ලැබේවා කියලා බලාපොරොත්තුවෙන් සිටිනවා නම්, එම බලාපොරොත්තු නිත්‍ය වේද? අනිත්‍ය වේද? අතීතයේ සක්‌විති රජවෙලා, ශක්‍රදෙවියන් වෙලා, තිබුණු රූපයනුත් අනිත්‍ය වී ගියානම්, අනාගතයේ බලාපොරොත්තු වන දිව්‍ය, බ්‍රහ්ම, මනුෂ්‍ය රූප හුදු මායාවක්‌ පමණක්‌මයි. පිංවත් ඔබ විවේකීව සිටිනකොට, නිරතුරුවම අතීත, වර්තමාන, අනාගත වශයෙන් රූපයේ අනිත්‍ය භාවය, රූපයට උරුම වූ ජරා, ව්‍යාධි මරණ ලක්‍ෂණ නුවණින් දකිමින් රූපය කෙරෙහි මමත්වයේ දැඩිභාවය සියුම් කොටගන්න. පිංවත් ඔබට '
මගේ රූපය'
 
කියන සංඥාව මතුවන හැම මොහොතකම, රූපය අනිත්‍යයි කියලා දකින්න. අනාගතයේ මම මේ විදිහේ රූපයක්‌ ලබනවා කියලා සිතෙන සෑම මොහොතකම, රූපය අනිත්‍යයි කියලා දකින්න. අනාගතයේ පිංවත් ඔබ දිව්‍ය ජීවිත, බ්‍රහ්ම ජීවිත, මනුෂ්‍ය ජීවිත ලබලා, එම රූපයන් අනිත්‍ය වන හැටි, විකෘති වෙන හැටි, වෙනස්‌ වෙන හැටි නුවණින් දකිමින් අනාගත රූපස්‌කන්ධය කෙරෙහි තෘෂ්ණාව සියුම්කොට ගන්න.

මේ මොහොතේ ලෝකයේ ජීවත්වෙන සෑම ජනප්‍රිය චරිතයකටම, ඔබේ ජීවිතය ආරෝපණයකොට දකිමින්, කුසලය නමැති හේතුව නිසා, සකස්‌ වුණු එම ජනප්‍රිය භාවය, එම චරිත අනිත්‍ය භාවයට පත්වෙන හැටි නුවණින් දකින්න. ලෝකයේ බලවත්ම රාජ්‍යයේ රාජ්‍ය නායකයාත්, දිව්‍ය තලයන්ගේ බලවතා වන ශක්‍ර දෙවියනුත්, බ්‍රහ්ම ලෝකයේ අධිපති මහා බ්‍රහ්මයාත්, ජරා ව්‍යාධි මරණයන්ට පත්වී එම රූපයන් වෙනස්‌වී යන අකාරය නුවණින් දකිමින් වර්තමාන, අතීත, අනාගත රූපයන්ගේ අනිත්‍ය භාවය නුවණින් දකින්න.
ඉදිරිපත් කිරීම 
ඉන්ද්‍රජිත් සුබසිංහ

indrajith.media@gmail.com


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

No comments:

Post a Comment

Don't add a word Here. I'll Kill you....