Monday, October 17, 2016

අපි මෙච්චර කල් වැරදියට තේරුම්ගත්ත සිංදු

 

අපි අතර ජනප්‍රිය සමහර සිංදුවල තේරුම අපි ගොඩදෙනෙක් හිතාගෙන ඉන්න එකට වඩා සම්පූර්ණයෙන් වෙනස්. සමහරු ඒ වැරදියට තේරුම්ගත්ත තේරුම නිසාම ඒ සිංදුවලට ආසා වෙනවා. තවත් සමහරු තමන් ඔළුවෙන් හදාගත්ත වැරදි තේරුම අල්ලගෙන ඒ සිංදුවලට බනිනවා. මේ ඒ වගේ ගොඩදෙනෙක් වැරදියට තේරුම්ගත්ත සිංදු කීපයක්.

 

රා රා රා බොම්බියේ

 

https://youtu.be/M0BqKRUlBLI

 

පහුගිය අවුරුදු දවස් ටිකේ අවුරුදු උත්සව කීපයක ම මේ සිංදුව ඇහුණා. සුනිල් එදිරිසිංහ ගායනා කරන මේ සිංදුවේ එක තැනක ''අවුරුදු එයි හංදියේ'' කියල තිබුණට ඇත්තට ම මේ සිංදුව අවුරුදුවලට කිසි සම්බන්ධයක් නෑ.

සිංදුව ලියපු සුනිල් සරත් පෙරේරා මේකෙන් කියන්න උත්සාහ කරන්නෙ 'පිටරටින් එන දේවල්වලින් පරෙස්සම් වෙන්න, දේශීය දේවල් අගයකරන්න' වගේ විදෙස් දෑ නොරුස්සන (xenophobic) අදහසක්. ඇත්තටම මෙතන දී 'අවුරුදු' කියන වචනේ පාවිචි වෙන්නෙත් ඍණාත්මක තේරුමකින්: පිටරටින් එන 'විච්චූරණ' දේවල්වලට තමයි මෙතන 'අවුරුදු' කියන්නේ; සිංහල අලුත් අවුරුද්ද ගැන නෙවෙයි.

 

දන්නෝ බුදුන්ගේ

 

https://youtu.be/LpIfa7DHhfI

 

 

මෑත කාලේ දී ගොඩක් කතාබහට ලක්වුණ නිසා දැන් නම් ගොඩක් දෙනෙක් දන්නවා ඇති මේක ඇත්තට ම ජෝන් ද සිල්වාගේ 'සිරිසඟබෝ' නූර්තියේ එන පුර වර්ණනාවක් කියලා. ඒත් මෙච්චර කල් ගොඩක් අය හිතන් හිටියේ ඒක බුදුගුණ ගීයක් කියලා. ''දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා'' කියලා සිංදුව පටන්ගන්න නිසා ගොඩක් අය එහෙම හිතනවා ඇති. ඒත් ඇත්තටම ඒ කාලේ අනුරාධපුර නගරයේ තිබුණ විචිත්‍රත්වය තමයි මේකෙන් කියන්න උත්සාහ කරන්නේ. බුදුන්ගේ ධර්මය දන්නා අය සිල් රකින, මිහිපිට දෙව්ලොවක් වැනි වූ බෞද්ධාගමික කේන්ද්‍රස්ථානයක් හැටියට තමයි රචකයා අනුරාධපුරය විස්තර කරන්නේ. ඍද්ධියෙන් යන රහතුන් බහුල, මානෙල් නෙළුම් ආදියෙන් පිරුණු, සේරුන් පීනන පොකුණුවලින් පිරුණු අනුරාධපුරය වර්ණනා කරන පුර වර්ණනාවක් තමයි මේක.

 

එගොඩහ යන්නෝ

 

https://youtu.be/4IGwO_z1pq4

 

ෂෙල්ටන් පෙරේරා ගායනා කරපු මේ සිංදුවේ මතුපිටින් කියවෙන්නේ ගඟක මිනිස්සු එතෙර මෙතෙර කරන තොටියෙක් ගැන. ඇත්තට ම මේ සිංදුව එහෙම තේරුම්ගන්න එකේ වැරැද්දක් නෑ. නමුත් මේක ලියපු ඩෝල්ටන් අල්විස්ගේ පුතා ගයා රම්‍ය සහ සතිෂ් සහභාගි වුණ රූපවාහිනි වැඩසටහනක දි එයාලා කිවේ මේ සිංදුවේ ඇත්තට ම ඊට වඩා ගැඹුරු අර්ථයක් තියෙනවා කියලයි. ඩෝල්ටන් අල්විස් මෙතන දි තොටියකුට උපමාකරල තියෙන්නෙ බුදුන්ව කියලයි කියන්නේ. බුදුන් තමන්ගේ ජීවිතේ අවසාන කාලය ගෙවන අතරේ, සසරෙන් එතෙර වෙන්න කැමති අය ඉන්නවා නම් ඉක්මණට එන්න කියලා කරන ආරාධනයක් තමයි මේකේ පද පෙලේ තියෙන්නේ. තමන්ට ජීවත් වෙන්න තව වැඩි කාලයක් නැති බව බුදුන් දන්නවා. 'පමා නොවන්නේ - අඳුර වැටෙන්නේ', 'අද මට වෙහෙසයි' කියන්නේ ඒකයි. ඉතිං තවත් සසරෙන් එතෙර වෙන්න කැමති අය ඉන්නවා නම් පමා නොවී එන්න කියල බුදුන් ව හිතේ තියාගෙන මේ ගීතය ලියවුණු බවයි ගයා රම්‍ය සහ සතිෂ් කීවේ.

 

 

උලලේනෝ

 

https://youtu.be/2zs0GoTXtPc

 

ගුණදාස කපුගේ ගායනා කරන උලලේනෝ, පාළු රෑක දුක්මුසු ගැමියෙක්ගේ හිතට එන අදහසක් හැටියට තමයි ගොඩක් දෙනක් හිතන්නේ. ඒත් රංබණ්ඩා සෙනෙවිරත්න මේක ලියද්දි 1971 අපේ‍්‍රල් කැරැල්ලෙන් පැරදුණු කැරළිකාරයො ගැන හිතල ලිව්වා කියලයි කියන්නේ; තමන්ගේ සටන් සගයෝ ගොඩදෙනෙක් මැරිලා, බලාපොරොත්තු බිඳවැටිලා, කැළැවල හැංගිලා ඉන්න කැරළිකාරයකුගේ හිතට එන හැඟීමක් විදියට තමයි මේ සිංදුව ලියවිලා තියෙන්නේ.

ලොකු බලාපොරෙත්තු තියාගෙන ගහපු කැරැල්ල අසාර්ථකයි; 'ඉහිරුණ කිරි කොතලෙට ඉකිබිඳලා ඵල නෑ' කියන්නේ ඒකයි. 'නිවනට ගිය දා මේ හැම දුක් නැතිවන්නේ' කියන කොටසෙන් කියවෙන්නේ එයාලා විප්ලවයෙන් පස්සෙ බිහිකරන්න බලාපොරොත්තු වුණු දුක් නැති සමාජය ගැන අදහසයි.
සිංදුවේ අන්තිමට තියෙන වේග රිද්ම සංගීතයෙන් කියවෙන්නේ ආයෙත් විප්ලවයක් එන බවට තියෙන බලාපොරොත්තුව කියලත් සමහරු කියනවා.

 

මල් පබා

 

https://youtu.be/Rxo48R-kC2A

 

සේනානායක වේරලියද්දගේ මල්පබා කියන්නේ ගම්බද තරුණියක් ගැන, ඇගේ ලස්සන ගැන කියන සිංදුවක් කියල තමයි බැලූ බැල්මට හිතෙන්නෙ. ඒත් මේ සිංදුව ලියපු ශාන්ත දේශබන්දු ම කියපු විදියට මේකේ කියවෙන්නේ ගොයම් ගහ ගැන.

ඒකයි ''වී මල්පබා'' කියන්නේ. ඉස්සර කාලේ වී ගොවිතැන මත පදනම් වුණු ගැමි සමාජවලට වී ගහ කියන්නේ එයාලගේ ජීවිතේ වැදගත් ම අංගයක්. ඉතිං ඒ වී ගහේ තියෙන උත්කර්ෂය තමයි මේ සිංදුවෙන් කියන්න උත්සාහ කරන්නේ.

 

 

තොල්පෙති විතරක්

 

https://youtu.be/8jr7enPETFI

 

'තොල් පෙති විතරක් පළමු හාදුවෙන් තෙමන්න' කියල ශෂිකා නිසංසලා කියද්දි ඒක ලොකු කතාබහකට ලක් වුණා. කට්ටිය පත්තර පිටු පිරෙන්න බැන්නා 'ළමයින්වත් නොමග යවන' මේ වගේ සිංදු ලියන එකට. ලංකාවෙ ජනගහණයෙන් බහුතරය ඇඟෙන් වයසට ගියත් හැසිරෙන්නෙ පොඩි ළමයි වගේ නිසා එහෙම දේවල් බලාපොරොත්තු වෙන්න වෙනවා. ඒත් ප‍්‍රශ්නෙ තියෙන්නෙ රත්න ශ‍්‍රී මේ සිංදුව ලියල තියෙන්නෙ එහෙම කොල්ලෙකුයි කෙල්ලෙකුයි (නැත්නම් කොල්ලො දෙන්නෙක් හෝ කෙල්ලො දෙන්නෙක්) සිපගන්න එකක් ගැන නොවන එකයි. මේක ඇත්තට ම හඳ ගැන, හඳෙන් එළිය වුණ රැයක තියෙන ලස්සන ගැන කියන සිංදුවක්. මෙතන හඳටයි කියන්නේ සේපාලිකා මලේ තොල් පෙතිවලට හාදුවක් දෙන්න කියල. මොකද සේපාලිකා මල් පිපෙන්නෙ රෑටනේ. කොහෙම හරි, විරහ හදවත් සුවපත් කරන, ලෝකය තනි යායක් කරන හඳ එළිය ගැන ලියන්න ගිහින් රත්න ශ‍්‍රීට සෑහෙන්න බැනුම් අහගන්න වුණා.


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

No comments:

Post a Comment

Don't add a word Here. I'll Kill you....