Wednesday, June 17, 2015

මහරහතුන් වැඩි මග ඔස්‌සේ 122 කොටස

 

http://www.divaina.com/2015/06/14/feature05.html

 

කල්ප විනාශයක දර්ශන මාත්‍රයක්‌...

බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ, කුසල් සංස්‌කාරයන්ට අදාළ ධර්මයන් නොදන්නා නිසාම, මිථ්‍යාදෘෂ්ටිය පෝෂණය කරමින්, කර්මය කර්මඵල විශ්වාසයන්ට පහරදෙමින්, දානයේ ශීලයේ ආනිසංශ කෙරෙහි විශ්වාසයෙන් බැහැරවෙමින්, තෙරුවන්ට ගරු නොකරන, සද්ධර්මයක්‌ ශ්‍රවණය නොකරන, පන්සලකට ආරණ්‍යයකට නොයන, සම්මා සම්බුද්ධ ශාසනයේ වටිනාකම ගැන දශමයක්‌වත් නොදන්නා පිංවතුන්, මිථ්‍යාදෘෂ්ටියේ ඵලයන්, ධනාත්මක වටිනාකම් හැටියට සමාජගත කිරීමේ මාරපාක්‍ෂික ක්‍රියාදාමයන්, පිංවත් ඔබ විසින් නුවණින් හඳුනාගැනීම, ඔබේ සම්මා දිට්‌ඨියේ අර්ථයන් දියුණුකොටගැනීමට ඔබට පහසුවක්‌ වෙනවා. 

සම්මා සම්බුද්ධ ශාසනයට හිතැති, ගිහි පිංවත් ඔබ, ඔබේ ජීවිතයේ ප්‍රමුඛතාවය, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථයන්ගේ පෝෂණය උදෙසාම ලබාදෙන්න. සමාජයේ ජීවත්වෙන ලොකු කුඩා කව්රුන් වේවා, ඔහු තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවක්‌ නැති කෙනෙක්‌නම්, පන්සලකට ආරණ්‍යයකට නොයන කෙනෙක්‌ නම්, ශීලයට වටිනාකමක්‌ නොදෙන, සංඝරත්නයට දන් නොදෙන කෙනෙක්‌ නම්, සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්‍ෂාවට මූලිකත්වය නොදෙන කෙනෙක්‌ නම්, පිංවත් ඔබ කරුණාකර ඔහු සමග නොගැටෙන්න. ඔහු තුළින් මිථ්‍යාදෘශ්ටිකභාවයේ හැඩරුව හඳුනාගන්න. එම පිංවතුන්ගේ අදහස්‌වලට වටිනාකමක්‌ දෙන්න එපා. එවැනි පිංවතුන්ලාව මගහැර යන්නය කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. ඔබ නොදන්නාභාවය නිසාම, ආවේගශීලීභාවය නිසා, එවැනි මිථ්‍යාදෘශ්ටික අදහස්‌වලට අනුකූලත්වය දැක්‌වුවහොත් ඔබ තුළත් නැති ලෝභ සිත් ඇතිවෙනවා. නැති ද්වේශ සිත් ඇතිවෙනවා. නැති මෝහ සිත් ඇතිවෙනවා. අවසානයේ අනුන්ගෙන් පළිගැනීමට ගොස්‌, තමන් සකස්‌ කරගන්නා අකුසල් හේතුවෙන් තමා නොදැනුවත්ව තමාගෙන්ම පළිගන්නවා. 

බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා 'මහණෙනි, යම් දවසක්‌ එනවා, මහා සාගරය වියළී සිඳී යනවා. මහපොළොව අළු දුහුවිලි ගොඩක්‌ වෙනවා. මේ සියල්ලම මේ ආකාරයෙන් වියළී , සිඳී ගියත්, සත්වයාගේ කර්මය නම් සිඳී වියළී නිමාවට පත්නොවෙනවා'ය කියලා. 

භික්‍ෂුවක්‌ උතුම් සමාධියෙන් පසුවෙනකොට, උන්වහන්සේට ලෝකයේ එක්‌ විනාශකාරී ස්‌වභාවයක්‌ අරමුණුවෙනවා. උන්වහන්සේට දේශසීමා, සීමා මායිම්, තාප්ප වැටකඩොලු කිසිවක්‌ නැති මහපොළොවක්‌ අරමුණු වෙන්නේ. ගහක්‌ කොළක්‌, කන්දක්‌, ගල්පරයක්‌ නැති, ඇළක්‌ දොළක්‌, ගංගාවක්‌, මහසාගරයක්‌ නැති මහපොළොවකුයි අරමුණුවෙන්නේ. මුළු පරිසරයම දුමෙන් වැහිලා. දුම තුළින් භික්‍ෂුවට පරිසරය විනිවිද පෙනෙනවා. තද කළු විෂම දුමක්‌ නොවේ තිබෙන්නේ. ලා කළු සහ අළු පැහැති දුමක්‌ පෙනෙන්නේ. තදින් පිච්චී ගිය කුට්‌ටි කුට්‌ටි කොටස්‌ හැටියට ආකාසයේ කෑලි කඩාගෙන වැටෙනවා. ඒවා කැඩී ඒවා ආකාසය තුළදීම අළු දුහුවිලි බවට පත්වී පරිසරයට, මහපොළොවට එකතුවෙනවා. මෙම කඩාවැටෙන කුට්‌ටි භික්‍ෂුවට පෙනෙන්නේ, යම් ඝන දෙයක්‌ හොඳටම දැවුණාට පසුව, සකස්‌වෙන අළු කුට්‌ටි ස්‌වභාවයට. එවැනි අළු කුට්‌ටි දහස්‌ ගණනක්‌ භික්‍ෂුවට දර්ශනය වෙනවා. පරිසරය තුළ වේගවත් ක්‍රියාකාරීත්වයක්‌ සිද්ධවෙනවා. ස්‌වභාවිකවම. අළු දුහුවිලි විනා, අඟූරු කැබැල්ලක දෙයක්‌වත් භික්‍ෂුවට අරමුණු වෙන්නේ නැහැ. පස්‌ කැබැල්ලක්‌වත්, ගල් කැබැල්ලක්‌වත් අරමුණුවෙන්නේ නැහැ. සියල්ල පිළිස්‌සී ගොසින්. සියල්ල අළු දුහුවිලි ලෙසයි පෙනෙන්නේ. භික්‍ෂුවක්‌ උතුම් සමාධියෙන් දැකපු මේ දර්ශනය අතීතයේ සිදුවූ කල්ප විනාශයක අවසාන ජවනිකාවක්‌ කියලයි එම භික්‍ෂුව විශ්වාස කරන්නේ. භික්‍ෂුවක්‌ දකින මේ කල්ප විනාශයේදී, මුළුමහත් මහපොළොවම සමතලා බිමක්‌ බවට පත්වෙනවා. ගල් කඳු පවා දැවී අළු බවට පත්වෙලයි තිබෙන්නේ. මේ දර්ශනය දැකීමට පෙර භික්‍ෂුව සිතාගෙන සිටියේ යොදුන් අසූහාරදහසක්‌ ගැඹුරු මහා සාගරයේ පිහිටි මහාමේරු පර්වතය, මහා සාගරයම සිඳී ගිනිගෙන විනාශ වුණාට පස්‌සේ, සිඳීගිය මහා සාගරය තුළ ගැඹුරු අගාධයක්‌ ලෙසින් පෙනෙනවාය කියලා. එහෙත් භික්‍ෂුව උතුම් සමාධියෙන් දකින්නේ, මුළු මහා සාගරයම සිඳීගියත්, එම සිඳීගිය මහා සාගරයේ යොදුන් අසූහතරදහසක්‌වූ ගැඹුර අළුවලින් පිරීගොස්‌ තිබූ ආකාරයක්‌. මොකද ජලය සිඳුණු සාගරයක්‌ භික්‍ෂුවට අරමුණුවෙන්නේ නැහැ. සමතලා පොළොවක්‌ පමණයි අරමුණු වෙන්නේ. ඒ කියන්නේ ජලය සිඳීගිය මහා සාගරයේ හිස්‌ ස්‌වභාවය, මහාමේරුව ගිනිගැනීම නිසා කඩාවැටෙන අළුවලින් පිරීගොස්‌ මුළුමහත් පොළොවම සමතලා බිමක්‌ වශයෙනුයි භික්‍ෂුවට අරමුණු වෙන්නේ.

මෙතැනදී භික්‍ෂුව අත්දැකීමෙන් දකිනවා, මහාමේරු පර්වතයත්, මුළු මහපොළොවේ ස්‌වභාවික පරිසරයත් ගිනිගෙන විනාශවීමෙන් පසුව, බොහොම ඝන අළු තට්‌ටුවක්‌ මහපොළොව මතුපිට සමතලා ආකාරයට පිහිටනවා කියලා. මහ පොළොව සහ සිනේරු පර්වතයේ, ගල් වැලි පස්‌ සහිත රස පොළොවේ සාරය ඉරවල් හතක උෂ්ණත්වයෙන් පිච්චී, මහ පොළොව මත ඇතිවන ඝන අළු තට්‌ටුවයි, ඉනික්‌බිති මහා වැසි පතිතවී, ඇතිවෙන රසායනික හෝ ස්‌වභාවික වෙනත් ක්‍රියාවලියක්‌ නිසා, රසැති යෝගට්‌ එකක්‌ සේ මහපොළාව මත මිදෙන්නේ. මෙවන් හේතුඵල ධර්මයන්ගේ විශ්මිත යථාර්ථයක්‌ වූ කල්ප විනාශයකුයි තම සමාධියෙන් එම භික්‍ෂුව විසින් දර්ශනය කරගත්තත්, එම දර්ශනය එම භික්‍ෂුවට තවත් එක්‌ අතීත පංච උපාදානස්‌කන්ධයක්‌ පමණක්‌මයි. දැක්‌කා කියන තැන එම භික්‍ෂුව නැවතිලා, එය හුදු හේතුඵල ධර්මයක්‌. බුදුරජාණන්වහන්සේට නමස්‌කාර වේවා. ඔබ වහන්සේමයි මාර්ගය වූයේ. 

භික්‍ෂුව අතීත කල්ප විනාශයන් පිළිබඳව යම් චිත්‍රයක්‌ ඔබට සටහන් කළේ, මේ සංස්‌කාරයන්ගේ අනිත්‍යභාවය මතුකොට පෙන්වන්න. කල්ප විනාශයේ උෂ්ණත්වය, දුම, කෑලි පිපිරී මහාමේරුව අළු කුට්‌ටි වශයෙන් මහපොළොව මතට කඩා වැටීම කියන කාරණය භික්‍ෂුවට සිහිපත්වෙන්නේ, ඒ කටුක වියළි, උණුසම් පරිසරය තුළ පිංවත් ඔබත් මමත් පිච්චි පිච්චී අමනුෂ්‍යයන් හැටියට වින්දා වූ දුකයි. කෝටි ප්‍රකෝටි කීයක්‌ සත්වයින් මේ දුක්‌ගිනිවලට පිච්චෙමින්, මැරෙමින්, ඉපදෙමින් දුක්‌විඳින්න ඇතිද? පිච්චීම වැඩිවෙනකොට, අකුසල මූලයන් වැඩිවෙනවා. අකුසල් මූලයන් වැඩිවෙනකොට මරණය වේගවත් වෙනවා. නැවත නැවත මේ ක්‍රියාවලියම සිදුවෙනවා. කල්පයක්‌ තුළ කරගත්තාවූ මහාමේරුපර්වතය වැනි අකුසල් කන්දක්‌ සත්වයාට කල්ප විනාශයකදී විපාක දෙනවා. පිංවත් ඔබ කලකිරෙන්න. අසාධාරණ ලෝකයක්‌ මේක. මනුෂ්‍යකමක්‌ නැති ලෝකයක්‌ මේක, කෘතවේදීත්වයක්‌ නැති ලෝකයක්‌ මේක, අසත්පුරුෂ මාරයාට අයිති ලෝකයක්‌ මේක. සශ්‍රිකභාවය, ධනවත්භාවය, රූමත්භාවය, උගත්භාවය, කුලවත්භාවය පෙන්වලා ඒවා කෙරෙහි කාමච්ඡන්දයන් සකස්‌කොටදීලා, අකුසලයට යොමුකරලා, කල්ප ගණන් සුගතිය දුගතිය අතර දෝලනය කරලා, අවසානයේ පුච්ච පුච්චා මරාදමනවා.

ඉන්ද්‍රජිත් සුබසිංහ
ඉදිරිපත් කිරීම 

 


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

No comments:

Post a Comment

Don't add a word Here. I'll Kill you....